April 19, 2024

පුහුණුවෙන් ශ්‍රී ලංකා පිතිකරුවෝ පදම් වෙති..

November 13, 2017

සංචාරක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම අතර කොල්කටාහි ජදාවූපූර් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති දෙදින පුහුණු තරගය ජය පරාජයෙන් තොරව ඊයේ(12දා) නිමාවට පත්විය. ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 411ක් ලබා ගත් අතර ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 287ක් වාර්තා කිරීමට සමත්විය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල් විසින්ද ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය සන්ජු සැම්සන් විසින්ද හෙබවූ මෙම තරගයේ කාසිය වාසිය දිනාගත් ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 411ක් රැස් කර ඉනිම අත්හිටුවූහ. සධීර-දිමුත් ආරම්භක පිතිකරු යුගලය පළමු කඩුල්ලට ලකුණු 134ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැඟූ අතර සධීර සමරවික්‍රම පන්දු 77කදී ලකුණු 74ක් ද දිමුත් කරුණාරත්න පන්දු 62කදී අර්ධ ශතකයක්ද වාර්තා කළහ.අර්ධ ශතකය ලබාගැනීමත් සමඟ පිටියෙන් ඉවත්ව ගිය දිමුත්ට පසුව පිටියට පිවිසි ලහිරු තිරිමාන්නට පන්දු 37කදී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 17ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස් පන්දු 93කට ලකුණු 54ක් ද නායක දිනේෂ් චන්දිමාල් පන්දු 65කට ලකුණු 29ක් ද ලබා සිටියදී කණ්ඩායමේ අනෙක් පිතිකරුවන්ට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසාදීමේ අරමුණින් පිටියෙන් ඉවත්ව ගිය අතර ඉන් අනතුරුව පිටියට පිවිසි නිරෝෂන් දික්වැල්ල,දිල්රුවන් පෙරේරා සහ රොෂේන් සිල්වා සාර්ථක පිතිහරඹයක නිරත විය.දිල්රුවන් පෙරේරා පන්දු 44කට මුහුණදී ලකුණු 48ක්ද නිරෝෂන් දික්වැල්ල පන්දු 59කින් නොදැවී ලකුණු 73ක් ද රොෂේන් සිල්වා පන්දු 53කින් නොදැවී ලකුණු 36ක් ද වාර්තා කිරීමට සමත් වුවත් දසුන් ශානක ලකුණු 2කටත් ධනංජය ද සිල්වා ලකුණු 10කටත් රංගන හේරත් ලකුණු 3කටත් දවාලීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත් වූහ.පන්දු යැවීමේදී සන්දීප් වේරියර් ලකුණු 60කට කඩුලු 2කුත් ආකාෂ් භාන්ඩාරී ලකුණු 111කට කඩුලු 2කුත් දවාගත්හ.

ඉන් පසුව ක්‍රීඩා කළ ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායම දෙවැනි දිනය නිමාවනවිට කඩුලු 5ක් දැවී ලකුණු 287ක් රැස් කළ අතර එම කණ්ඩායමේ නායක සන්ජු සැම්සන් පන්දු 143කට මුහුණ දී ලකුණු 128ක් ලබා සිටියදී දැවී ගියේය.

ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 14 දෙනෙක්ම මෙම තරගයේදී පන්දු යැවීම සඳහා කැඳවීම කැපී පෙනෙන සිදුවීමක් විය. එහිදී පන්දු යැවීමට නොපැමිණි එකම ක්‍රීඩකයා වූයේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පමණි. සාමාන්‍යයෙන් පන්දු යැවීමේ නිරත නොවන දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, සධීර සමරවික්‍රම සහ රොෂේන් සිල්වාද මෙම තරගයේදී පන්දු යැවූහ.

ලහිරු තිරිමාන්න ලකුණු 22කට කඩුලු 2ක් බිඳ දැමූ අතර දිල්රුවන් පෙරේරා, ධනංජය ද සිල්වා සහ සධීර සමරවික්‍රම එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පිල පළමු ඉනිම – කඩුලු 9 කට 411
(සධිර සමරවික්‍රම 74, දිමුත් කරුණාරත්න 50, ළහිරු තිරිමාන්න 17, ඇන්ජලෝ මැතිව්ස් 54, දිනේෂ් චන්දිමාල් 29, නිරෝෂන් දික්වැල්ල නොදැවී 73, ඩිල්රුවන් පෙරේරා 48, රොෂේන් සිල්වා නොදැවී 36, සන්දීප් වේරියර් 60/2, ආකාෂ් භන්ඩාරි 111/2)

ඉන්දීය ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පළමු ඉනිම – කඩුලු 5 කට 287
(ජීවන්ජෝත් සිං 35, සංජු සැම්සන් 128, රෝහන් ප්‍රේම් 39, බවනක සන්දීප් නොදැවී 33, ජලාල් සක්සේනා නොදැවී 20, ළහිරු තිරිමාන්න 22/2)

Rate this item
(0 votes)