April 20, 2024

ශ‍්‍රී ලංකාවේ ලෝක වාර්තාව 99න් බේරෙයි

දකුණු අප්‍රිකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර පැවති පළමු එක්දින තරඟයෙන් වාර්තාගත කඩුලු 10ක ජයක් ලබා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම ඊයේ සමත් විය.

සංචාරක බංගලාදේශය පළමුව පන්දුවට පහර දෙමින් තම පන්දුවාර 50 තුල ලකුණු 278/7 ලබා ගත්තේ මුෂ්ෆිකර් රහමාන් නොදැවී ලබා ගත් ශතකයත් සමඟිනි.මුෂ්ෆිකර් ලකුණු 110 ක් ලබාගත්තද සෙසු කිසිඳු පිතිකරුවකු අර්ධ ශතකයක්වත් ලබා ගැනීමට අපොහොසත් වීම නිසා බංගලාදේශයට ලකුණු 300 සීමාව පසු කිරීමේ අවස්ථාව ගිලිහී ගිය අතර පන්දු යැවීමේදී රබාඩා කඩුලු 4ක් සහ ප්‍රිටෝරියස් කඩුලු 2ක් දවා ගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පැමිණි දකුණු අප්‍රිකා පිතිකරු යුගලය වූ හෂීම් අම්ලා සහ කුවින්ටීන් ඩි කොක් බංගලාදේශ පන්දු යවන්නන්ට දිගට හරහට බැට දෙමින් පන්දුවාර 42.5 වන විට ජයග්‍රාහී සීමාව වෙත තම කණ්ඩායම රැගෙන ගියේ වාර්තාගත ජයක දකුණු අප්‍රිකාවට ලබා දෙමිනි.ආරම්භක පිතිකරුවන් දෙපලම ශතක ලබා ගනිමින් කොක් ලකුණු 168 ක් ද අම්ලා ලකුණු 110 ක් ද ලබා ගත්තේ නොදැවුණ පිතිකරුවන් ලෙසය.

මෙම ජය සමඟ අම්ලා සහ කොක් , ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පසුගිය වසරේ එංගලන්ත කණ්ඩායම තබා තිබු වාර්තාවක් බිද දැමීමට සමත් වූ අතර එංගලන්ත කණ්ඩායමේ ඇලෙක්ස් හෙල්ස් සහ ජේසන් රෝයි ශ්‍රී ලංකාව ලබාගත් ලකුණු 255 ක් කඩුලු නොදැවී හඹා ගිය ඉහලම ලකුණු ප්‍රමානය ලෙස වාර්තාකර තිබු වාර්තාව එසේ බිඳ වැටුනේ නව වාර්තාව ලකුණු 279 ක් කඩුලු නොදැවී හඹා යාමක් ලෙස වාර්තා පොත් අලුත් කරමිනි.

අම්ලා සහ කොක් සම්බන්දතාවයට ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයක් වූ උපුල් තරංග සහ සනත් ජයසුරිය 2006 එංගලන්තයට එරෙහිව තබා තිබු ආරම්භක කඩුල්ල සඳහා ඉහලම සම්බන්දතවයේ වාර්තාව වූ ලකුණු 286 බිඳ දැමීමේ අවස්ථාව අහිමි වුනේ ජයග්‍රහණයට තිබු ඉලක්කය එම ලකුණු ප්‍රමාණයට වඩා අඩු වූ නිසාවෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී නොවුනද ශ්‍රී ලංකා කණ්ඩායම පිළිබඳව වැඩිවශයෙන් කතාවුන තරඟයක් මෙලෙස නිමා වුනේ බංගලාදේශයට තවත් දරුණු පරාජයක් ලබා දෙමිනි.

Rate this item
(8 votes)
Last modified on Monday, 16 October 2017 09:06