October 19, 2017

චන්දි ටීම් එකට ආපු වෙලාවෙ පුහුණකරු භාර දුන්නේ මට..මහේලට දුන්නෙ තිරිමාන්න.. දිමුත් ඩිල්ශාන්ට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ලබාගත් වාර්තාගත ටෙස්ට් තරඟාවලි ජයත් සමඟ බොහෝ දෙනා දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වය අගය කරමින් කතා කර තිබෙන ආකාරය දැකගත හැකි වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි දක්ෂතම පිතිකරුවෙකු මෙන්ම ශ්‍රී ලංකාව බිහිකළ දක්ෂ නායකයෙකුද වන කුමාර සංගක්කාර මෙම ජයග්‍රහණයෙන් පසුව ඉන්දීය වෙබ් අඩවියක් වන cricbuzz සමඟ සාකච්චාවකට එකතු වෙමින් චන්දිමාල්ගේ නායකත්වය සහ ඔහුට හිමිවිය යුතු තැන සහ ඔහුට පහුගිය කාලයේ අහිමි වූ දේ පිළිබඳව අදහස් දක්වා ඇත.

චන්දිමාල කණ්ඩායමට එන්නේ සංගක්කාරගේ නායකත්වය යටතේ. ඔහුගේ පළමු සංචාරය 2011 ද. අප්‍රිකා සංචාරය. එහිදී ජෙෆ් මාර්ශ් පුහුණුකරු ලෙස නවක ක්‍රීඩකයන් ජේශ්ඨයන්ට බෙදා දී තිබෙනවා. එහිදී සංගක්කාර යටතේ චන්දි, මහේලට තිරිමාන්න, ඩිල්ශාන්ට දිමුත් වැනි ක්‍රිඩකයන් බෙදා දී තිබෙනවා.

“චන්දිමාල් නායකයා විදියට ලොකු දෙයක් කණ්ඩායමට දුන්නා.ඒ වගේම ඔහු පීඩනය දරා ගෙන ඒකට මුහුණ දෙන විදිය හරිම අපුරුයි.ඒ වගේම ඔහුට ලැබෙන්න ඕන සහය රංගන,දිල්රුවන් උපරිමෙන්ම දුන්න.”

චන්දිමාල්ට පසුගිය කාලයේ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ විවේචන ගැනද සංගා මෙහිදී අදහස් දක්වා ඇත.

“චන්දිමාල්ට ගොඩක් දෙනෙකුගේ තිබුන චෝදනාවක් තමයි,ඔහු අනවශ්‍ය විදියට හෙමින් පහර දෙනවා කියන එක.මේ තරඟාවලියේ චන්දිමාල් පෙන්නුවා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට තමන් මොනතරම් පරිනතද කියන එක.ඔහුගේ නායකත්වය එක්ක ඔහු ඉදිරියෙන් ඉඳගෙන ලොකු ඉනිම් ක්‍රීඩා කරලා කණ්ඩායම පීඩනයෙන් මුදවා ගත්ත විදිය ඇත්තටම අනාගතය ගැන ගොඩක් බලාපොරොත්තු ඇති කළා.”

“මම චන්දිමාල් එක්ක ගොඩාක් ලොකු කාලයක් එකට සෙල්ලම් කරලා නෑ.ඔහු එක්ක ක්‍රීඩා කරන වෙලාවේදී මම කියපු දේ තමයි මොන වෙලාවෙද ලකුණු වේගය වැඩි කරන්න ඕන.ලකුණු වේගය අඩු කරලා ඉනිම ඇදගෙන යන්න ඕන මොන වගේ වෙලාවටද කියන එක.ඒ වගේම ලකුණු 40 ක් ගහලා නවත්තන්නේ නැතුව කොහොමද ඒක ලකුණු 100 කට අරගෙන යන්නේ කියන එකත් මගේ අත්දැකීම් එක්ක චන්දිමාල් එක්ක සාකච්චා කරලා තියනවා.”

පසුගිය කාලයේ චන්දිමාල් කණ්ඩායමෙන් ඉවත් කරමින් ඔහුගේ මානසික මට්ටම පහලට ඇද දැමීම ගැන සංගක්කාර තුල ඇත්තේ කණස්සල්ලකි.

“මට අනුව නම් චන්දිමාල් කියන්නේ සුපිරි හැකියාවක් තියන ක්‍රීඩකයෙක්,ඒ වගේ ක්‍රීඩකයෙකුගේ පොඩි අසාර්ථක වීමක් එක්ක ඔහු කණ්ඩායමෙන් ඉවත් කරලා තියනවා කියන්නේ ලොකු අපරාධයක්.පහුගිය අවුරුදු තුන වගේ ඔහුට විශ්වාසෙන් ක්‍රීඩා කරන්න නොලැබුන එක අපරාධයක්.චන්දි ඔස්ට්‍රේලියාව,දකුණු අප්‍රිකාව වගේම එංගලන්තයේදීත් හොඳට කරපු ක්‍රීඩකයෙක්.ඔහු ටෙස්ට් එක්දින T20 වෙනස දන්නවා වගේම ඒ රටාවල් තුනටම ගැලපෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්.

මම හිතන්නේ චන්දි අංක තුන හෝ හතර ක්‍රීඩකයා විදියට අපේ කණ්ඩායමේ මේ තරඟ රටාවන් තුනටම ඉන්න ඕන ක්‍රීඩකයෙක්.අනික දිගුකාලීන අරමුණු වලට යද්දී මේ වගේ හොඳ ක්‍රීඩකයෝ හලන්න හොඳ නෑ,මම හිතන්නේ ලංකාව වෙනුවෙන් ටෙස්ට් ලකුණු 10000 ට යන්න පුළුවන් වෙයි චන්දිට.”

Rate this item
(1 Vote)
Last modified on Thursday, 12 October 2017 12:14