April 16, 2024

චන්දිමාල් ගත් තීරණයට හිටපු නායකයාගේ අප‍්‍රසාදය….

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ දෙවන තරගය මේ දිනවල ඩුබායි අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අද තරගයේ අවසන හා තීරණාත්මක දිනයයි.

තරගයේ සිවුවැනි දිනයට ඊ‍යේ (9 වැනිදා) තරගය නතර කරන විට ජයග්‍රහණය සඳහා ලකුණු 317 ක ඉලක්කයක් හඹායමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 198 ක් ලබා සිටියා. අද (10 වැනිදා) තරගයේ අවසන් දිනය වන අතර තරගය ජයගැනීමට නම් පාකිස්තාන කණ්ඩායම අද දිනයේදී තවත් ලකුණු 119 ක් රැස්කළ යුතුය. ඒ සඳහා ඔවුන් සතුව කඩුලු 5 ක් පවති.

කෙසේ වෙතත් ලකුණු 52 කට කඩුලු 5 ක් බිඳවැටී අසීරු අඩියකට පත්ව තිබූ පාකිස්තාන ඉනිමට නව ජවයක් ලබාදුන් අසාද් ෂෆීක් (නොදැවී 86) සහ නායක සෆ්රාස් අහමඞ් (නොදැවී 57) හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 146 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූ අතර මෙම සබදතාවය ශ්‍රී ලංකාවේ ජයග්‍රහන බලාපොරොත්තුව කෙමින් කෙමින් බිද දමන්නට වූවා.

අදට තරගය ආරම්භ වූ පසු පළමු පන්දු වාර පහ අතිශය තීරණාත්මක වන අතර විස්වාසයෙන් පන්දුවට පහර දෙන මෙම පිතිකරුන් දෙදෙනාගෙන් එක් පිතිකරුවෙක් හෝ මුල් පන්දුවාර පහ තුලදි දවා නොගන්නේ නම් ශ්‍රී ලංකාවට ටෙස්ට් තරගාවලි ජය සිහිනයක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව විචාරක මතයයි.

චන්දිමාල්ගේ තීරණය ගැන මහේලගේ අප්‍රසාදය….

මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්ථාන කණ්ඩායම අතර ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය 1-0 ලෙස ඉදිරියෙන් සිටින අවස්ථාවක දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පාකිස්ථානය තවත් පීඩනයට පත් කිරීමේ අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායම මඟ හරවා ගත් බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක මහේල ජයවර්ධන ඔහුගේ ට්විටර් ගීනුම ඔස්සේ අදහස් දක්වමින් පවසා ඇත.

මෙම තරඟයේ දිමුත් කරුණාරත්න ක්‍රීඩා කල ආකාරය විශිෂ්ට බවත් ද්විත්ව ශතකය අහිමිවීම අවාසනාවන්ත සිදුවීමක් බවත්ද මහේල පවසා ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් ඉනිමේ පාකිස්ථානය පරාජය කල හැකි ලකුණු ප්‍රමාණයක් දැනටමත් තිබෙන බවත් කෙසේ නමුත් පළමු ඉනිමේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පීඩනය හමුවේ අසරණ වූ පාකිස්ථාන පිතිකරුවන් පිට පිට දෙවන වරටත් පන්දුවට පහර දීමට කැඳවා ඔවුන්ට එල්ල කිරීමට තිබු පීඩනය පසුගාමී තීරණයක් නිසා වැළකී ගිය බවද හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා පවසා ඇත.

Rate this item
(2 votes)
Last modified on Tuesday, 10 October 2017 09:25