April 20, 2024

'අපි මේ අවස්ථාව එනකන් ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටියේ'..ශ්‍රී ලංකා ජයග්‍රහණයෙන් පසුව චන්දිමාල් ,සෆ්රාස් සහ රංගන කියපු දේ

රංගන හේරත්ගේ විශිෂ්ට පන්දුයැවීමත් හා නිරෝෂන් දික්වැල්ලගේ විශිෂ්ට පිතිහරඹයත් හේතුවෙන් පාකිස්තානු කන්ඩායම සමග පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 21කින් ජයගැනිමට ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් විය

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ලබාගත් ජය සමඟ ශ්‍රී ලංකා කණ්ඩායමේ මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේද නව පිබිදීමකට හේතුවක් වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජය ලබා ගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම සතු ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ගෙන් ඉදිරියෙන්ම සිටින ඇන්ජලෝ මැතිව්ස් සහ උපුල් තරංග නොමැති අවස්ථාවක වීමත් මෑත කාලයේ ශ්‍රී ලංකා මැදපෙළ ට එක්වූ ශක්තිමත්ම තුරුම්පුව වන අසේල ගුණරත්නද කණ්ඩායමේ නැති අවස්තාවක මේ ලබාගත් ජය ශ්‍රී ලංකා කණ්ඩායමට ඉතා වැදගත් කරුණකි.

ජයග්‍රහණයට සමස්ත කණ්ඩායමේම ලැබුන සහය පිළිබඳව ශ්‍රී ලංකා නායකයා මාද්‍ය වෙත අදහස් දක්වමින් ස්තුතිය පළකර ඇත.

“අපි මේ අවස්ථාව එනකන් ගොඩක් කාලෙක ඉඳන් බලාගෙන හිටියේ,අන්තිමට අපිට ඒ අවස්ථාව වූදා වුනා.අපි ඉන්නේ ගොඩක් සතුටෙන් ,මේ ජයග්‍රහණයේ ගෞරවය යන්න ඕන අපේ කණ්ඩායමේ ඔක්කොටම.මේ තරඟයට කලින් කට්ටිය පුදුම කැප කිරීමකින් පුහුණුවීම් කලේ.අපේ කණ්ඩායම වගේම පුහුනුකරුවොත් හිටියේ ලොකු විශ්වාසෙකින් මේ තරඟයට එද්දී.

මේ තරඟයේ විශේෂ ගෞරවය යන්න ඕන දිමුත්ට වගේම දික්වැල්ලටත් දික්වැල්ල දෙවැනි ඉනිමේ සෙල්ලම් කරපු විදිය අදහ ගන්නත් බෑ.ලකුණු 140 සීමාවට අපි යද්දී අපි දැනගත්ත අපිට දිනන්න පුළුවන් කියල,මොකද රංගන ඉන්න නිසා පස් වෙනි දවසේ පකිස්ථානයට මේ ලකුණු ගණන ලේසියෙන් දෙන්නේ නෑ කියල අපි දැනගෙන හිටිය.”

පාකිස්ථාන නායක සෆ්රාස් අහමඩ් ප්‍රකාශ කරන ආකාරයට මෙම තරඟය තමන්ගේ නමට ජයග්‍රහණය තිබුන තරඟයකි.

“මේක ක්‍රිකට් ක්‍රීඩාවේ හැටි තමයි.හැබැයි ගොඩක් දුකයි ,මොකද අපි තරඟය පුරාම හොඳට සෙල්ලම් කලා,අන්තිම දවසේ අපි ලොකු පීඩනයකට ලක් වුනා ඒකත් එක්ක අපිට ගොඩ එන්න බැරි වුනා.හැරිස් සොහෙල් තරඟය පුරා ක්‍රීඩා කල විදිය විශිෂ්ටයි.අපි ඊළඟ තරඟයේ නැවතත් සුපුරුදු දක්ෂතා අතරට එන්න බලාගෙන ඉන්නේ.”

මෙම තරඟයේ ශ්‍රී ලංකා ජයග්‍රහණයට වඩාත්ම දායකත්වය ලබාදුන් රංගන හේරත් තරඟයේ වීරයා බවට පත්වූ අතර ඔහු තම කඩුලු 400 කඩයිම ද මෙම තරඟයේ පසුකර යාමට සමත්වූ අතර,මෙම ජයග්‍රහණය පිටුපස සිටි තම කණ්ඩායමේ සඟයන් මෙන්ම මෙම විශේෂ අවස්ථාවේ තම දෙමාපියන් ද මතක් කිරීමට රංගන අමතක කලේ නැත.

දෙරට අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගය දිවා රාත්‍රි තරගයක් ලෙසින් ලබන 6 වැනිදා ඩුබායි නුවර දී ආරම්භ වෙනු ඇත.

ශ්‍රී ලංකා පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 419 (පන්දුවාර 154.5): දිනේෂ් චන්දිමාල් 155*, දිමුත් කරුණාරත්න 93, නිරෝෂන් දික්වැල්ල 83, දිල්රුවන් පෙරේරා 33, මොහොමඩ් අබ්බාස් 3/75, යසීර් ෂා 3/120, හසන් අලි 2/88.

පාකිස්තානු පළමු ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 422 (පන්දුවාර 140): අසාර් අලි 85, හැරිස් සොහෙයිල් 76, ශාන් මසූඩ් 59, සැමී අස්ලාම් 51, අසාද් ශෆීක් 39, රංගන හේරත් 5/93, සුරංග ලක්මාල් 2/42, නුවන් ප්‍රදීප් 2/77.

ශ්‍රී ලංකාව දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 138 (පන්දුවාර 66.5): නිරෝශන් දික්වැල්ල 40*, කෞශාල් සිල්වා 25, යසීර් ශා 5/51, මොහොමඩ් අබ්බාස් 2/22.

පාකිස්තානු දෙවන ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 114 (පන්දුවාර 47.4): හැරිස් සොහෙයිල් 34, අසාද් ශාෆික් 20, සෆ්රාස් අහමඩ් 19, රංගන හේරත් 6/43, දිල්රුවන් පෙරේරා 3/46.

Rate this item
(0 votes)
Last modified on Monday, 02 October 2017 23:02