April 20, 2024

දිනේෂ් චන්දිමාල්ගෙන් තියුණු අවවාදයක්

September 28, 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහ පකිස්ථානය අතර ටෙස්ට් තරඟමාලාවේ පළමු තරඟය අද ආරම්භ වීමට නියමිතය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්ම පාකිස්ථාන කණ්ඩායමද මේ ගෙවන්නේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංක්‍රාන්ති සමයකි.පසුගිය දශකයේ මෙම රටවල් දෙකේම ප්‍රධාන පිතිකරුවන් වූ කුමාර සංගක්කාර ,මහේල ජයවර්ධන ,මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් නොමැතිව දෙරට ටෙස්ට් ක්‍රිකට් තරඟයකට මුහුණ දීම කණ්ඩායම් දෙකටම අලුත් අත්දැකීමක් වනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම වුවද මෙම තරගයට පිවිසෙන්නේ ප්‍රබලතම ක්‍රීඩකයන් දෙදෙනකු වන හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ අසේල ගුණරත්න නොමැතිවය. එහෙත් පාකිස්තානු පිල එසේ නොවේ. පසුගිය වසර 7 ක කාලය පුරාම මිස්බා හෝ යුනිස් ඛාන් දෙදෙනාගෙන් අයකු නැති ටෙස්ට් තරගයක් පාකිස්තානයට නොතිබිණ. මේ දෙදෙනා එක්ව ටෙස්ට් තරග 193 කදී ලබාගත් ලකුණු සංඛ්‍යාව 15,331 කි. දෙදෙනා අතර පැවැති ශතක සම්බන්ධතා 15 කි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලකුණු රැස්කිරීම විනෝදයක් කරගත් මෙම පිතිකරුවන් දෙදෙනා සිටි පාකිස්තානු කණ්ඩායම් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ටෙස්ට් තරගාවලි 9කට සහභාගි වී ඇතත් ඒ එකක් හෝ පරාජය වී නැත. පාකිස්තානු පිලෙන් විශ්‍රාම ගොස් ඇත්තේ එවන් විශිෂ්ට පිතිකරුවන් දෙදෙනකි.

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් කියන්නේ පාකිස්තානය පරාජය කිරීමට නම් ශ්‍රී ලංකා පිලේ දස්කම් වඩාත් උසස් තලයකට නංවාගත යුතු බවයි. එය තියුණු අවවාදයකි.

“යුනිස් හා මිස්බා කියන්නේ අති විශිෂ්ට ක්‍රීඩකයන් දෙන්නෙක්. ඔවුන් දෙන්නාම මේ කණ්ඩායමේ නැති නිසා අපට ඒක තරමක වාසියක් තමයි....ඒත් පාකිස්තානය පරාජය කරන්න නම් අපේ දස්කම් මීට වඩා ඉහළ නංවා ගත යුතුයි” යයි දිනේෂ් චන්දිමාල් ඩුබායිහිදී පැවසීය.

මෙම ටෙස්ට් තරඟාවලියේ ප්‍රේක්ෂකයන්ගේ වැඩි අවධානය යොමුවී ඇති පිතිකරුවන් දෙදෙනා වන්නේ තවමත් 22 හැවිරිදි වියේ සිටින කුසල් මෙන්ඩිස් සහ බාබර් අසාම් කෙරෙහිය.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්ථානය අවසන් වරට හමුවූ අවසථාවල කණ්ඩායම් දෙකේ ප්‍රධාන පන්දු යැවීමේ තුරුම්පු බවට පත්වූ රංගන හේරත් සහ යශීර් ශා ක්‍රියාත්මක වන ආකාරය අනුව තරඟයේ අවසන් තීරණයට වැදගත් බලපෑමක් කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම දිමුත් කරුණාරත්නගේ ආරම්භක පිතිකරණ සගයා ලෙස ක්‍රීඩා කරන්නේ මෑත කාලයේ දක්ෂතා දැක්වූ නවක ක්‍රීඩක සධීර සමරවික්‍රම ද පාකිස්ථානය හමුවේ ඉතිහාසයේ සාර්ථක වී ඇති කෞෂාල් සිල්වාද යන්න තවම තීරණය කර නැත.

ඇන්ජලෝ මැතිව්ස්ගෙන් හිස්වන ස්ථානයට රොෂේන් සිල්වා ක්‍රීඩා කරනවාද දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩක දිල්රුවන් පෙරේරා ක්‍රීඩා කරනවාද යන්න තවම ප්‍රකාශයට පත්කර නැත.

වමත් වෙගපන්දී යවන්නන් රැසක් සහිත පාකිස්ථාන කණ්ඩායමේ පිතිකරුවන් වමත් වේගපන්දු යවන්නන්ට නිරන්තර පුහුණුවීම් වලදී නිරාවරණය වන නිසා ඉන්දියාව හමුවේ සාපේක්ෂව සාර්ථක පන්දු යැවීමක නිරත වූ විශ්ව ප්‍රනාන්දු වෙනුවට සුරංග ලක්මාල් නුවන් ප්‍රදීප්ගේ සහයක පන්දු යවන්නා වීමේ ඉඩකඩ වැඩිවේ.

පාකිස්ථානය සමඟ තරඟ වලදී පාකිස්ථාන පිතිකරුවන්ට ප්‍රබල තර්ජනයක් වී ඇති රංගන හේරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්ථාන හමුවේ කඩුලු 24 ක් දවාගෙන ඇත්තේ ලකුණු 36.20   ක සාමන්‍යයක් රඳවා ගනිමිනි.

හෙට ක්‍රීඩා කරනු ඇතැයි විශ්වාස කරන කණ්ඩායම් දෙක,

Pakistan (possible):

1 Shan Masood, 2 Sami Aslam, 3 Azhar Ali, 4 Asad Shafiq, 5 Babar Azam, 6 Haris Sohail, 7 Sarfraz Ahmed (wk and capt.), 8 Mohammad Amir, 9 Yasir Shah, 10 Hasan Ali, 11 Mohammad Abbas

Sri Lanka (possible):

1 Dimuth Karunaratne 2 Sadeera Samarawickrama, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (capt.), 5 Lahiru Thirimanne, 6 Niroshan Dickwella (wk) 7 Roshen Silva 8 Rangana Herath, 9 Suranga Lakmal, 10 Lakshan Sandakan, 11 Nuwan Pradeep

Rate this item
(1 Vote)