April 19, 2024

ICC ය ක්‍රිකට් නීති රීති වෙනස් කරයි

September 26, 2017

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (මඟින්) තරගවලට අදාළව තිබූ නීති රීතිවල වෙනස්කම් කිහිපයක් සිදු කර ඇති අතර එම වෙනස්කම් මෙම මස 28 වන දින සිට බලපවත්වෙනු ඇත.

ඒ අනුව එම සිදු කළ වෙනස්කම් යටතේ ක්‍රිකට් පිත්තේ පරිමාණවලට සීමා පැනවීම, විෂමාචාර හේතුවෙන් ක්‍රීඩකයින් පිටත් කර යැවීම සහ විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාවට (DRS) අදාළව වෙනස්කම් කිහිපයක් සිදු වී ඇති අතර එම වෙනස්කම් බංග්ලාදේශ කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරය යටතේ පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය සඳහා සහ ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ද වලංගු වනු ඇත.

ඒ අනුව මෙම වෙනස්කම් MCC ක්‍රිකට් නීති සංග්‍රහයට (2017 සංග්‍රහය) අනුගතව සිදු කර ඇති අතර ඒ අනුව ක්‍රීඩා කිරීමට අදාළ සියලුම නීති රීති එක් තරග අංශයක් සඳහා එක් ලේඛනයක් යටතේ ගොනු කෙරෙනු ඇත.

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ සාමාන්‍යාධිකාරී ජෙෆ් ඇලර්ඩිස් මහතා ප්‍රකාශ කර සිටියේ;

“මේ වෙනස්කම් හැම එකක්ම වගේ ICC විසින් සිදු කළේ MCC ය විසින් ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ නීති රීතිවල කරපු වෙනස්කම්වල ප්‍රතිඵලයක් විදිහට. අපි ක්‍රිකට් විනිසුරුවරුන් හට වැඩමුළුවක් සිදු කළා මේ නව වෙනස්කම් සම්බන්ධයෙන් ඔවුන්ට හොඳින් පැහැදිලි කරලා දෙන්න. ඒ අනුව මේ නව නීති රීති ජාත්‍යන්තර තරගවලට හඳුන්වා දෙන්න දැන් කටයුතු සූදානම් කරලා තියෙන්නේ.”

ඒ අනුව ක්‍රිකට් පන්දුව සහ පිත්ත අතර ඇති සමබරතාවය පවත්වා ගෙන යාම සඳහා ක්‍රිකට් පිත්තේ දාරවල ප්‍රමාණය සහ ඝනකම වෙනස් කිරීමට තීරණය කර ඇත. කෙසේ නමුත් පිත්තේ දිග සහ පළලේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර සිදු කරනු ලැබූ වෙනස්කම්වලට අනුව පිත්තේ දාරයේ ඝනකම මිලි මීටර 40 ඉක්මවිය නොහැකි අතර පිත්තේ සමස්ත ගැඹුර ද උපරිම ලෙස පැවතිය හැක්කේ මිලි මීටර 67ක් පමණි. ඒ අනුව පිතිකරුවන් භාවිතා කරන පිත්ත නව නීති රීතිවලට අනුකූලව පවතිනවා ද යන්න පරීක්‍ෂා කිරීම සඳහා විනිසුරුවරුන් හට මිනුම් උපකරණයක් ලබා දෙනු ඇත.

එමෙන්ම ක්‍රීඩකයින්ගේ චර්යාවට අදාළව ද නව වෙනස්කමක් සිදු කිරීමට ICC ය තීරණය කර ඇත. ඒ අනුව ක්‍රීඩකයෙක් තරගයක් අතරතුර යම් බරපතළ විෂමාචාරයක් සිදු කළ හොත් ඔහුව තරගයේ ඉතුරු කාලය සඳහා පිටියෙන් ඉවත් කර තැබීමට හැකිය. මෙම නව නීතිය 4 වන මට්ටමේ වැරදි සඳහා අදාළ වනු ඇති අතර 1 සිට 3 වන මට්ටමේ වැරදි සඳහා සුපුරුදු පරිදි චර්යා ධර්ම සංග්‍රහයට අනුව දඬුවම් ලබා දෙනු ඇත.

විනිසුරුවරයෙකුට පහර දීමට තර්ජනය කිරීම, සිතාමතා විනිසුරුවරයෙකු සමඟ අනවශ්‍ය ලෙස ඝට්ටනය වීම, ක්‍රීඩකයෙකුට හෝ වෙනත් අයෙකුට පහර දීම සහ වෙනත් ඕනෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක නිරත වීම වැනි වැරදි 4 වන මට්ටමේ වැරදි ලෙස සැලකේ.

ඉහත නව වෙනස්කම් සියලුම තරග අංශ කෙරෙහි වලංගු වන අතර විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ අවස්ථාවට (DRS) අදාළව ද වෙනස්කම් සිදු කර ඇත. ඒ අනුව විනිසුරු තීරණය නැවත සලකා බැලීමේ අවස්ථාවක දී විනිසුරුවරයාගේ තීරණය (Umpire’s Call) මත පමණක් විනිසුරුවරයා ලබා දුන් තීරණය වෙනස් නොවුණහොත් එම තීරණය නැවත සලකා බැලීමේ අවස්ථාව අහිමි නොකිරීමට තීරණය කර ඇත.

එමෙන්ම නව වෙනස්කම්වලට අනුව ටෙස්ට් තරගවල එක් ඉනිමක දී පන්දුවාර 80 අවසානයේ නැවත විනිසුරු තීරණය නැවත සලකා බැලීමේ අවස්ථාවන් 2ක් ලබා දීම අහෝසි කර ඇති අතර ඒ අනුව එක් ඉනිමක දී කණ්ඩායමකට ලැබෙන්නේ අසාර්ථක අවස්ථාවන් 2ක් පමණි. එමෙන්ම මෙම තාක්ෂණය පන්දුවාර 20 තරග සඳහා ද හඳුන්වා දීමට තීරණය කර ඇත.

එමෙන්ම ක්‍රීඩකයින් දුවද්දී දැවී යාමට අදාළව සිදු වී ඇති නව වෙනස්කම වන්නේ පිතිකරුවෙක් ඉදිරියට දුවද්දී දී හෝ පැනීමක් සිදු කරන අවස්ථාවක දී පිතිකරණ සීමාවට (crease) පසුව පිත්ත තැබුවේ නම් එහි දී ඉන් අනතුරුව පිත්ත සමඟ ඇති සම්බන්ධය ගිලිහුණු විට කඩුලු බිඳ දැමුව ද ඔහුව දැවී ගිය ක්‍රීඩකයෙක් ලෙස නොසැලකීමයි. මෙම තත්වයම පිතිකරුවෙකු ඉදිරියට පැන පහර දීමක දී සිදු කරන දවා ගැනීමකට ද (Stumping) ඒ ආකාරයටම වලංගු වේ.

හතරේ සීමාව ආසන්නයේ ලබාගන්නා උඩ පන්දුවල දී ක්‍රීඩකයෙක් පන්දුව දෑතේ වැදී හතරේ සීමාවෙන් පිටතට යන්නේ නම් එම පිම්ම හතරේ සීමාව ඇතුළත දී ලබා ගැනීම අනිවාර්ය වන අතර එසේ නොමැති නම් එම අදාළ ලකුණු පිතිකරුවා වෙත ලබාදීමට කටයුතු කරනු ඇත.

එසේම සිදු වූ නව වෙනස්කම්වලට අනුව කඩුලු රකින්නාගේ හෝ පන්දු රකින්නෙකුගේ හිස් ආවරණයේ පන්දුව වැදීමෙන් අනතුරුව ද පිතිකරුවෙක් උඩ පන්දුවක්, Stumping අවස්ථාවක් හෝ දුවද්දී දැවී යාමකට හසු කර ගනිමින් දවා ගැනීමේ හැකියාව පවතී.

- ද පපරේ ඇසුරෙනි

Rate this item
(0 votes)