April 20, 2024

අජන්ත මෙන්ඩිස්ගේ විශිෂ්ට පිතිහරඹය අවසන් මහා තරගයේදී වොරියස් පිළට ජය ගෙනෙයි

September 26, 2017

2017 Last Man Standing වාර්ෂික ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග 24 වැනිදා කොළඹ මුවර්ස් පිටියේ දී පැවැත්විය. අවසන් මහා තරගයෙන් කඩුලු 5ක ජයග්‍රහණයක් ලබාගත් ලයන් වෝරියස් පිළ එහි ශූරතාවය ජයග්‍රහණය කරන ලදි.

එක් පිළකට ක්‍රීඩකයින් අට දෙනෙකුට පමණක් ක්‍රීඩා කළ හැකි මෙම තරගයේ අවසන් ක්‍රීඩකයා හට තනිව වුවද පිතිකරණයේ නිරත විය හැකි වීම විශේෂිත කරුණක් වේ.

නවලෝක B පිළ පළමුව පන්දුවට පහර දුන් නමුත් ඔවුන් පන්දුවාර 15යි පන්දු 3ක් අවසානයේ සියලුම දෙනා දැවී රැස්කර ගත්තේ ලකුණු 145ක් පමණි. එහි දී දුශාන් විමුක්ති ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 21ක් තුළ ලකුණු 52ක් රැස්කර ගත්තේ, 6 පහර 5ක් හා වර්ණවත් 4 පහර 3ක් ද සමඟිනි. ඔහුට අගනා සහයක් දැක්වූ රසික සම්පත් හා චරිත් මෙන්ඩිස් පිළිවෙළින් ලකුණු 37ක් හා ලකුණු 21ක් රැස්කර ගන්නා ලදි. පන්දු යැවීමේ දී ලයන් වෝරියස් පිළ වෙනුවෙන් නවන්ත රත්නායක, ජනක සම්පත් හා අජන්ත මෙන්ඩිස් යන ක්‍රීඩකයින් කඩුලු 2ක බැගින් දවා ගන්නා ලදි.

පිළිතුරු ඉනිම දියත් කළ ලයන් වෝරියස් පිළ පන්දුවාර 17යි පන්දු 4ක් තුළ සිය ඉලක්කය සපුරාලීමට සමත් විය. එහි දී ඔවුන්ගේ පිළ වෙනුවෙන් ජයග්‍රාහී පිතිකරණ ඉනිමක් දියත් කළ හිමාශ ලියනගේ පන්දු 38ක් තුළ ලකුණු 50ක් රැස්කර ගන්නා ලදි. අමතරව පන්දු 23ක දී ලකුණු 44ක් ලබාගෙන සිය පිතිකරණ දක්ෂතා ඇතුළුව තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කිරීමට මෙන්ඩිස් හට හැකි විය.

නවලෝක B පිළ වෙනුවෙන් ලකුණු 29කට කඩුලු 2ක් දවා ගැනීමට රසික හට හැකියාව ලැබුණි. අවසානයේ කඩුලු 5ක ජයග්‍රහණයක් හිමි කර ගැනීමට මෙන්ඩිස් ඇතුළු ලයන් වෝරියස් පිළට හැකි විය.

නවලෝක B – 145/10 (15.3): දුශාන් විමුක්ති 52, රසික සම්පත් 37, චරිත් මෙන්ඩිස් 21, නවන්ත රත්නායක 2/09, ජනක සම්පත් 2/16, අජන්ත මෙන්ඩිස් 2/30.

ලයන් වොරිියස් – 147/3 (17.4): හිමාශ ලියනගේ 50 , අජන්ත මෙන්ඩිස් 44, රසික සම්පත් 2/29.

ශූරතාවය ජයග්‍රහණය කළ ලයන් වෝරියස් කණ්ඩායම මේ වසර අග දී දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හි පැවැත්වෙන Last Man Standing ලෝක ශූරතා ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට ද සුදුසුකම් ලබා ගන්නා ලදි.

 

Rate this item
(1 Vote)
Last modified on Tuesday, 26 September 2017 09:25