March 29, 2024

ශ්‍රී ලංකාවට වාර්තාගත පරාජයක්

September 04, 2017

විරාට් කෝලීගේ (නොදැවී 110) විශිෂ්ට පිතිහරඹයත් බුවනේෂ්වර් කුමාර්ගේ (42/5) විශිෂ්ට පන්දු යැවීමත් හමුවේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකරගත් ඉන්දියාව තරගාවලියද 5-0 ක් ලෙස ජයගැනීමට සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 239 ක ඉලක්කයක් හඹාගිය ඉන්දියාව ඕවර 46.3 කදී කඩුලු 4 ක් දැවී ඉලක්කය සම්පූර්ණ කිරීමට සමත්විය. සිය 30 වැනි එක්දින ශතකය පන්දු 107 කදී වාර්තා කළ විරාට් කෝලී මෙම තරගාවලියේදී ඔහු රැස්කළ දෙවැනි ශතකයද වන්නේය. තරගය නිමාවන විටදී නොදැවී කඩුල්ලේ රැඳී සිටි කෝලී පන්දු 116 කදී හතරේ පහර නවයක් සමගින් ලකුණු 110 ක් රැස්කිරීමට සමත්විය.

ඉන්දීය පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 29 ක් වන විට ආරම්භක පිතිකරුවන් වූ අජින්ක්‍යා රහනේ සහ රෝහිත් ශර්මා දවා ගැනීමට ලසිත් මාලිංග සහ විශ්ව ප්‍රනාන්දු සමත්වූ අතර කඩුලු දෙකක් බිඳ වැටුණද තෙවැනි කඩුල්ල සදහා පන්දු 107 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩා වැටුණු ඉනිම ගොඩනගමින් ජයග්‍රහණ දෙසට කණ්ඩායම රැගෙන යාමට විරාත් කෝලී සහ මනිෂ් පාන්ඬේ සමත්වූහ

මාලිංද පුෂ්පකුමාරගේ පන්දුවක හමුවේ දැවී යන විට පන්දු 53 කට මුහුණ දෙමින් හතරේ පහර දෙකක් සමගින් ලකුණු 36 ක් රැස්කිරීමට මනිෂ් පාන්ඬේ සමත්විය.

විරාට් කෝලී සමගින් සිවුවැනි කඩුල්ල සදහා පන්දු 126 කදී ලකුණු 109 සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූ කේදර් ජාදව් ජයග්‍රහණයට ලකුණු දෙකක් තිබියදී නිරෝෂන් දික්වැල්ලට උඩපන්දුවක් දෙමින් ලකුණු 63 කට දැවී ගියේය. වනිඳු හසරංගගේ පන්දුවක් හමුවේ දැවීයන විටදී පන්දු 73 කට මුහුණදුන් ජාදව්ගේ ඉනිමට හතරේ පහර හතක් ඇතුළත් විය.

ළහිරු තිරිමාන්න (67) සහ ඇන්ජලෝ මැතිව්ස් (55) සාර්ථක සම්බන්ධතාවයක් ගොඩනගමින් ඉහළ ලකුණු සංඛ්‍යාවකට ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන ගියද පසුපෙළ පිතිකරුවන්ගේ අසාර්ථක පිතිහරඹය හමුවේ ඔවුන්ට ඕවර 50 අවසානයේ සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 238 ක් පමණි.

ආරම්භයේ සිට ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ උපුල් තරංගගේ ඉනිම අවසන් කිරීමට ජස්ප්‍රීට් බුම්රා සමත්විය. පන්දු 34 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 48 ක් රැස්කරගත් තරංග කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනී අතට උඩපන්දුවක් දෙමින් දැවී ගියේය.

ඇන්ජලෝ මැතිව්ස් සමගින් එක්ව සිවුවැනි කඩුල්ල සදහා පන්දු 177 කදී ලකුණු 122 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් කඩාවැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගූ ළහිරු තිරිමාන්න ලකුණු 67 ක් ලබාසිටියදී බුවනේශ්වර් කුමාර්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. සිය 19 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 83 කදී රැස්කළ තිරිමාන්න දැවීයන විටදී පන්දු 102 කට මුහුණදෙමින් හයේ පහරක් සහ හතරේ පහර තුනක් සමගින් ඉනිම අලංකාර කළේය.

තිරිමාන්න දැවීයාමෙන් සුළු මොහොතකට පසුව ඇන්ජලෝ මැතිව්ස්ද මහේන්ද්‍ර සිං දෝනී අතට උඩපන්දුවක් දෙමින් ලකුණු 55 කට දැවී ගියේය. පන්දු 98 කට මුහුණදී කුල්දීප් යාදව්ගේ පන්දුවක් හමුවේ දැවීගිය මැතිව්ස්ගේ ඉනිමට හතරේ පහර හතරක් ඇතුළත්විය. මැතිව්ස් සිය 36 වැනි එක්දින අර්ධ ශතකය 79 කදී වාර්තා විය.

බුවනේශ් කුමාර්ගේ පන්දු යැවීම හමුවේ අසරණවු පසුපෙළ පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවූ අතර අවසන් කඩුලු හත ලකුණු 53 ක් තුළ දැවී ගියේය. විශිෂ්ට පන්දුයැවීමක නිරතවූ බුවනේශ් කුමාර් ඕවර 9.4 ක් යවමින් ලකුණු 42 කට කඩුලු 5 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

ඕවර 10 ක් යවමින් ලකුණු 45 කට කඩුලු 2 ක් දවාගත් ජස්ප්‍රීට් බුම්රා තරගාවලිය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් කඩුලු 15 ක් දවාගත් අතර තරග පහකින් සමන්විත එක්දින තරගාවලියකදී වේගපන්දු යවන්නකු විසින් දවාගත් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ වාර්තාව අලුත් කිරීමට සමත්විය. මීට පෙර එම වාර්තාවට හිමිකම් කියූ ඕස්ටේ්‍රලියාවේ ක්ලින්ට් මැකේ පාකිස්තානයට එරෙහිව කඩුලු 14 ක් දවාගෙන තිබුණේය.

ස්ටම්ප් කිරීම් 99 ක් ලබාගනිමින් කුමාර් සංගක්කාර තබා තිබූ ලෝක වාර්තාවක් අභිබවා යමින් මහේන්ද්‍ර සිං දෝනී 100 වැනි ස්ටම්ප් කිරීම ලෙස අකිල ධනංජය දවා ගත්තේය.

ශ්‍රී ලංකාවද පරාජයන්ගෙන් වාර්තා පොතට එකතු වුයේ තරඟ පහකින් යුතු තරඟාවලියක් සම්පුර්ණයෙන්ම පරාජයට පත්වූ පළමු අවස්තාව ලෙසිනි.

 කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහරදීමට තීරණය කළේය.

Rate this item
(0 votes)