April 24, 2024

'ලකුණු 320 ක්‌ හඹා ගොස්‌ අපි ඉන්දියාවට ගැහුවා..අපේ තරම මුලු ලෝකයමට පෙන්වනවා'

ඉන්දියාව සමඟ පැවැති ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය පරාජයට පත් වුවද එක්‌දින තරගාවලියේදී තමා ඇතුළු කණ්‌ඩායම ලෝකයටම සිය දක්‍ෂතාව පෙන්වා ගැනීම අවස්‌ථාවක්‌ කර ගත යුතු බව ශ්‍රී ලංකා එක්‌දින සහ විස්‌සයි විස්‌ස නායක උපුල් තරංග පවසයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග පහකින් සමන්විත එක්‌දින ක්‍රිකට්‌ තරගාවලියේ පළමු තරගය ලබන 20 වැනිදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර ඔවුන් දඹුල්ල බලා යැමට ප්‍රථම පැවැති මාධ්‍ය හමුවේදී තවදුරටත් මෙසේ පැවසීය.

'එක්‌දින තරගාවලිය ආරම්භයට පෙර මම කියන්න ඕන අපි ටෙස්‌ට්‌ තරගාවලියේදී අවශ්‍ය ආකාරයට ක්‍රීඩා කළේ නැහැ කියලා. අපිට ඉදිරියට යන්න ඉක්‌මනින්ම ඒ තරගාවලිය අමතක කරන්න වෙනවා. ටෙස්‌ට්‌ තරගාවලියේදී වුණ අඩුපාඩු හදාගෙන එක්‌දින තරගාවලියට මුහුණ දෙන්න ඕන. මට හොඳ කණ්‌ඩායමක්‌ ලැබිලා තියෙනවා. පසුගිය කාලයේ ක්‍රීඩකයන් ආබාධවලට මුහුණ දුන්නා. ජාත්‍යන්තර ක්‍රීඩකයන් සෑම කෙනෙක්‌ම ආබාධවලට මුහුණ දෙනවා. නමුත් අපි දැන් මේ කණ්‌ඩායමත් එක්‌ක ඉදිරියට යා යුතුයි.''

පරාජයේදී ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ප්‍රේක්‍ෂකයන් තම දක්‍ෂතාවන් කෙරෙහි උනන්දුව අතහරියිදෝ යන සැකයෙන් පසුවූ ශ්‍රී ලංකා නායකයා තවදුරටත් මෙසේ සඳහන් කළේය. 'අපි කණ්‌ඩායමක්‌ විදිහට මුළු ලෝකයටම අපේ තරම පෙන්වන්න හොඳ අවස්‌ථාවක්‌ මේ එක්‌දින තරගාවලිය. ඒකට මාධ්‍ය සහ සමස්‌ත ලක්‌වැසියන්ගේ සහයෝගය රටක්‌ විදිහට ඉදිරියට යන්න අපිට ලබා දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.'

චැම්පියන්ස්‌ කුසලාන තරගාවලියේදී ඉන්දියාව පරාජය කිරීමේ මානසිකත්වය මෙවර තරගාවලියටද පිටිවහලක්‌ බව උපුල් තරංග පවසයි., 'ලකුණු 320 ක්‌ හඹා ගොස්‌ අපි ඉන්දියාවට එරෙහිව චැම්පියන්ස්‌ කුසලානයේදී ජය ගත්තා. ටෙස්‌ට්‌ සහ එක්‌දින කියන්නේ දෙවිදිහක්‌. ඒ අඩුපාඩු මගහරවාගෙන මුහුණ දෙන්න කණ්‌ඩායමේ සියලු දෙනාම හොඳ මානසිකත්වයෙන් ඉන්නවා. සුරංග ලක්‌මාල්, නුවන් ප්‍රදීප් සහ නුවන් කුලසේකර තුන්දෙනාම ආබාධවලට ලක්‌ වෙලා ඉන්නේ. නමුත් කණ්‌ඩායමත් එක්‌ක විශ්වාසයක්‌ නැතිව ඉදිරියට යන්න අමාරුයි. මාලිංග සහ මැතිව්ස්‌ වගේ අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් සිටීම ලොකු ශක්‌තියක්‌. මැතිව්ස්‌ දැන් පන්දු යවන්නත් සූදානමින් ඉන්නවා. ඒකත් හොඳ ධනාත්මක පැත්තක්‌.'

Rate this item
(2 votes)
Last modified on Thursday, 17 August 2017 07:51