April 20, 2024

හිතාමතා තරග පාවාදීමක් ; සිම්බාවේ තරගාවලියේ සැක සහිත පුදගලයෙක් ගැන හෙළිදරව්වක්

දිගින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තරගවලින් දරුණු ලෙස පරාජය වීම හේතුවෙන් ක්‍රිකට් සභාපති එම ධුරයෙන් වහාම ඉවත් කළ යුතු බව හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ඉදිරියේදීවත් තරග ජයග්‍රහණය කිරීමට අවශ්‍ය නම් ක්‍රිකට් පරිපාලනයට සුදුසු පුද්ගලයන් පත් කළ යුතු බවද ඔහු අවධාරණය කරයි.

අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ ප්‍රකාශ කළේ ඊයේ (15) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සභාගිවී පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමිනි.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග මහතා,

මට මතකයි ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිතුමා කිව්වා රවී කරුණානායක ඇමැතිතුමා ඉල්ලා අස් වෙන්න ඕන කියලා. නමුත් ඊට කලින් අස් කරන්න ඕන එවැනි කථා කියන ඒ අයමයි. අද ක්‍රිකට් පරිපාලනය ඉතාම දුර්වල තත්ත්වයකට පත් වෙලා. තරග පරදිනවා. ඒ නිසා ක්‍රීඩා ඇමැතිතුමා ඉස්සෙල්ලාම කරන්න ඕන ක්‍රිකට් පරිපාලනය වෙනස් කිරීම. හරි පුද්ගලයෙන් අතට ක්‍රිකට් පරිපාලනය භාරදීම. නැත්නම් අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියේදී නරකම තත්ත්වයටම යනවා. විශේෂයෙන්ම මේ ආණ්ඩුව ආවට පස්සේ අමාත්‍යවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වුණා. ඒ වැරදිකරුවෝ වෙලා නෙමෙයි. චෝදනා එල්ල වුණා කියලා. චෝදනා ඔප්පු කරන්නෙත් නැතිව ඉල්ලා අස්වුණා. නමුත් අද අපිට ක්‍රිකට් ක්‍රීඩාව අගාධයටම වැටිලා. ඒක කරුණු සහිතව ඔප්පු වෙනවා. ඒනිසා තවදුරටත් ක්‍රිකට් සභාපති, සභාපති ධුරයේ තබා ගැනීම වැදගත් වෙන්නෙම නැහැ.

නිලවරණ අපිට දිනන්න බෑ. ව්‍යාපාරිකයන් දේශපාඥයන්වත් අල්ලන් ඉන්නවා. ඒගොල්ලන්ට සල්ලි වියදම් කරනවා. අද වෙන කොට ක්‍රීඩාව මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ ඒනිසා. ඉතිං මං හිතන්නේ යහපාලන ආණ්ඩුව වුණාට ඉතාමත් අවාසනාවන්ත දෙයක් සිදුවුණේ මේ ආණ්ඩුව කාලේ. ඒක මං වගකීමකින් කියනවා.

දැනටමත් මම ක්‍රිකට් ක්‍රීඩාවේ වෙන දේ ජනාධිපතිතුමාවයි අගමැතිතුමාවයි දැනුවත් කරලා තියෙනවා. ඒවගේම ඉදිරි සති දෙක ඇතුළතදී මම තීරණාත්මක ලිපියක් ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි යොමු කරනවා. මොකද මේ තත්ත්වයෙන් ඉදිරියට යන්න බැහැ. නුසුදුස්සන් ක්‍රිකට් ක්‍රීඩාවට ආවම ක්‍රිකට් ක්‍රීඩාව ඇද වැටෙනවා. තරග පරදින එක ගැන මට එතරම් ප්‍රශ්නයක් නැහැ. තරග පරදින්නේ ඇයි කියලා හොයලා බලන්න ඕන. ඊට අමතරව බලන්න. පසුගිය කාලේ සිම්බාබ්වේ තරගය පැවැත්වෙන විට අනවශ්‍ය පුද්ගලයෝ ක්‍රීඩකයින්ගේ විවේකාගාරයේ සිටි බවට වාර්තා වෙලා තියෙනවා. මේවා ගැන පරීක්ෂණ පවත්වන්න ඕන.

ක්‍රිකට්වල ඉහළ තනතුරුවල ඉන්න පිරිසක් ජාත්‍යන්තර පුටු බලාපොරොත්තුවෙන් හිතාමතා තරග පාවාදීමක් කරන බවට ආරංචි පැතිර යන බවද ඇමැතිවරයා පැවැසීය.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 16 August 2017 07:55