April 24, 2024

කණ්ඩායමේ බර තරුණයන්ට පටවයි..තීරණාත්මක අවසන් තරගයට ක‍්‍රීඩා කරන කන්ඩායම මෙන්න.

දස්කම් අතර සිටින ප්‍රබල ක්‍රීඩකයන් කිහිපදෙනකුම ආබාධ හේතුවෙන් ක්‍රීඩා නොකරන සංචාරක ඉන්දීය පිලට එරෙහිව අද (12) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තුන්වැනි සහ අවසන් ටෙස්ට් තරගය නවක ක්‍රීඩකයන් සමග එක්වී ජයග්‍රහණයෙන් නිමා කරගැනීමේ අභියෝගයට සාර්ථකව මුහුණදීම එකම බලාපොරොත්තුව බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් ප්‍රකාශ කළේය.

තුන්ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්න පළමු ටෙස්ට් තරගයේදිත්, වේගපන්දු යවන නුවන් ප්‍රදිප් දෙවැනි ටෙස්ට් තරගයේදිත් ආබාධවලට ලක්වූ අතර දෙවැනි තරගය අතරතුර පිටකොන්දේ ආබාධයකට ලක්වූ දඟපන්දු යවන රංගන හේරත්ට සිය සුපුරුදු වේගයෙන් පන්දු යැවීමේ අපහසුතාවක් ඇති බැවින් අද තරගයේදී විවේකයක් ලබාදී තිබේ.

ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන ප්‍රබල ඉන්දීය කණ්ඩායම හමුවේ තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාව දැනටමත් 2-0කින් පරාජයට පත්වී සිටින බැවින් ශ්‍රී ලංකා කණ්ඩායමට අද ඇරැඹෙන තුන්වැනි ටෙස්ට් තරගයේදී වැඩි පීඩනයක් දැනෙනු ඇතැයි චන්දිමාල් කීවේය.

පසුගිය වසර දෙක තුළ ටෙස්ට් පිටියේ විශිෂ්ට දස්කම් පෙන්වමින් අංක එකේ කණ්ඩායම බවට පත්වී සිටින ඉන්දියාව හමුවේ තරගය පරාජයෙන් බේරාගැනීම විශාල අභියෝගයක් බව ශ්‍රී ලංකා පිලේ නායකයාගේ අදහසය.

‘නායකයා හැටියට මට කොහොමත් පීඩනයක් තියෙනවා. අසේල, නුවන් ප්‍රදීප් වගේම රංගන හේරත් අද තරගයට ක්‍රීඩා නොකිරීම විශාල පාඩුවක්. අපි හැමෝටම ඒ පීඩනය දැනෙනවා. ඒත් ඒක නිදහසට කාරණාවක් නෙවෙයි. අපිට ඒක පාලනය කරගන්න සිද්ධවෙනවා.’ ඔහු පැවැසීය.

‘අපිට තරගය ජයගැනිමට හෝ ජයපරාජයෙන් තොරව බේරා ගැනීමට නම් අවම වශයෙන් ඕවර 120ක්වත් පිතිහරඹයේ යෙදිය යුතුයි. කොහොමවුණත් අපි තරගය අත්හරින්නේ නෑ. ටෙස්ට් තරගමාලාව ජයග්‍රහණයෙන් නිමා කරගැනීමටයි නිතරම උත්සාහ ගන්නේ. මේ තරගය අපේ නවක ක්‍රීඩකයන්ට විශාල අවස්ථාවක්. ඔවුන්ගේ උපරිම දස්කම් පෙන්වලා තරගයේ වාසිය ශ්‍රී ලංකා පිලට හරවන්න.’ චන්දිමාල් සඳහන් කළේය.

තරුණයන්ගේ කරේ බර පටවයි

පල්ලෙකැලේ තණතීරුව සාමාන්‍යයෙන් වේගපන්දුවට උචිත තණතීරුවක් බැවින් නවක වේගපන්දු යවන්නන් වන ළහිරු කුමාරට සහ විශ්ව ප්‍රනාන්දුට දස්කම් දැක්වීමට කදිම අවස්ථාවක් ලැබී ඇතැයි ද ඔහු කීවේය.

“ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු දෙන්නාම මේ දවස්වල හොඳින් පන්දු යවමින් සිටිනවා. ජ්‍යෙෂ්ඨ පන්දු යවන්නන් නැති මේ වෙලාව තමන්ගේ තරම පෙන්නන්න ඒ දෙන්නාටත් හොඳ අවස්ථාවක්.....”

“තරුණ ක්‍රීඩකයන්ගෙන් කවුරු හරි කෙනෙක්ගේ නැත්නම් දෙන්නෙක්ගේ දස්කම් වලින් අපට මේ තරගය ජයගන්න හැකි වුණොත් ඒක අපේ ඉදිරි ගමනට විශාල මානසික ශක්තියක් වෙයි. අප සොයමින් ඉන්නේ ඒ ජයග්‍රහණය තමයි”

මීට පෙර පල්ලෙකැලේ පිටියේදී ටෙස්ට් තරග 5කට ක්‍රීඩා කර ඇති ශ්‍රී ලංකා පිල එක් තරගයක් ජයගැනීමට සමත්වූ අතර තරගයක් පරාජයට පත්විය. ඉතිරි තරග තුනම ජයපරාජයෙන් තොරව නිමාවිය.

“ධනංජය කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්

ඉන්දීය පිල ශ්‍රී ලංකාවට පැමිණ සහභාගි වූ පළමු පුහුණු තරගයේදීම නායකත්වයට පත්කළ ළහිරු තිරිමාන්න ටෙස්ට් සංචිතයටද කැඳවනු ලැබිිණ. එහෙත් පළමු තරග දෙකේදීම අවස්ථාවක් නොලද වමත් පිතිකරුවා තුන්වැනි තරගයේදීත් සංචිතයට එක්වී තිබේ.

මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී හෙට ආරම්භ වන තුන්වැනි ටෙස්ට් තරගය සම්බන්ධයෙන් බොහෝ දෙනා තුළ ඇති විචිකිච්ඡාව වන්නේ ධනංජය ද සිල්වාගේ ස්ථානයට ළහිරු තිරිමාන්න අදේශ විය හැකිද යන්නයි. එහෙත් ධනංජයගේ ස්ථානය සම්බන්ධයෙන් කළ විමසීමේදී නායකයා තම අංක 6 පිතිකරුවා සම්බන්ධයෙන් විශ්වාසය පළකළේය.

“ධනංජය කියන්නේ විශිෂ්ට ක්‍රීඩකයෙක්. ඕස්ටේ්‍රලියානුවන්ට එරෙහිව ඔහු ක්‍රීඩා කරපු ආකාරය දිහා බැලුවොත් එයා විශිෂ්ට ඉනිම කීපයක්ම ක්‍රීඩා කළා”

“ඉනිම දෙකක් නිසා එයාව එළියට දාන්න බෑ. ඒත් අපි තාම කිසිම තීරණයක් අරගෙන නෑ. හෙට උදේ තමයි තීරණයක් ගන්නේ” යයි මහනුවර පල්ලේකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ(11 වැනිදා) පස්වරුවේදී පැවැති පුවත් පත් සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නායකයා පැවසීය. එහෙත් ඒ චන්දිමාල්ගේ අදහස පමණි. කණ්ඩායම තෝරා ගැනීමේදී අවසන් තීරණය නායකයාගේම නොවේ.

දෙවැනි ටෙස්ට් තරගයෙන් පරාජයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සමග ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල සහ හිටපු පිතිකරු අරවින්ද ද සිල්වා මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමත්, ඊට දින කිහිපයකට පසුව අරවින්ද ද සිල්වා මහතා කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන් සමග කතාබහක නිරතවීමත් පිළිබඳ සඳහන් කරමින් ශ්‍රී ලංකා පිලේ නායකයා පැවැසුවේ අරවින්ද වැනි ශ්‍රේෂ්ඨ ක්‍රීඩකයකු සමග එවැනි කතාබහක නිරතවීම කණ්ඩායමට විශාල ශක්තියක් මෙන්ම ක්‍රීඩකයන්ගේ විශ්වාසනීයත්වය වැඩිවූ බවය.

එම සාකච්ඡා අතරතුර අද තරගයේදී පිතිහරඹ සැලසුම හෝ පිතිකරු ලැයිස්තුව වෙනස් කරන්නේදැයි යන්න පිළිබඳ කිසිවක් සාකච්ඡා නොවූ බවත් නායක චන්දිමාල් පැවසීය.

‘අපි තවම කණ්ඩායම තෝරාගෙන නෑ. වර්ෂාව නිසා තණතීරුව තවම බැලුවේ නෑ. හෙට උදේට (අද) තමයි තණතීරුව බලලා කණ්ඩායම තෝරාගන්නේ. කොහොමවුණත් නායකයා හැටියට මම කැමැති නෑ තරග පරදින්න. ප්‍රතිවාදී කණ්ඩායම අංක එකේ වුණත් අංක අටේ වුණත් අපිට අවශ්‍ය වෙන්නේ තරගයේ ජයග්‍රහණය පමණයි.’

තරග 3-0කින් මේ ටෙස්ට් තරගමාලාව පුර්ණ ලෙස පරාජයට පත්වීමෙන් ශ්‍රී ලංකා පිල බේරාගැනීමේ අභියෝගය මැද ශ්‍රී ලංකා පිලට පල්ලෙකැලේ ආශ්‍රිතව මහනුවර නගරයේ මේ දිනවල පවතින වර්ෂාවේ අභියෝගයටත් මුහුණදීමට සිදුවනු ඇත. ඊයේ උදෑසනත්, පෙරේදා පස්වරුවේත් මහනුවර නගරයට වර්ෂාව ඇද වැටිණි. කෙසේවුවත් ඊයේ පස්වරුවේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණය අවට කාලගුණික තත්ත්වය යහපත් අතට හැරි තිබිණි.

ශ්‍රී ලංකා පිල මීට පෙර තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකින් 3-0ක පූර්ණ පරාජයක් අත්කර ගත් අවස්ථා 5ක් ඉතිහාසයට එක්වී තිබේ. පළමුවරට එවැනි පරාජයක් අත්විදිනු ලැබුවේ 1993-94 ශ්‍රී ලංකා පිලේ ඉන්දීය සංචාරයේදීය. අනතුරුව 1995-96 තරග වාරයේ ඔස්ට්‍රේලියාවේදීත්, 2003-2004 තරගවාරයේ ශ්‍රී ලංකාවේදීත්, 2012-2013 තරගවාරයේ නැවත ඔස්ට්‍රේලියාවේදීත් ශ්‍රී ලංකා පිල තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලා 3කින් ඔස්ට්‍රේලියාව හමුවේ පූර්ණ වශයෙන් පරාජයට පත්විය. අවසන් වරට තරග 3කින් සමන්විත ටෙස්ට් තරගමාලාවකින් ශ්‍රී ලංකා පිල පූර්ණ පරාජයක් ලැබුවේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේදීය. 

අද තරගයට ක‍්‍රීඩා කල හැකි කණ්ඩායම..

1 Upul Tharanga, 2 Dimuth Karunaratne, 3 Kusal Mendis, 4 Dinesh Chandimal (capt.), 5 Angelo Mathews, 6 Niroshan Dickwella (wk), 7 Dhananjaya de Silva, 8 Dilruwan Perera, 9 Dushmantha Chameera/ Lakshan Sandakan, 10 Vishwa Fernando, 11 Lahiru Kumara,

Rate this item
(2 votes)