April 24, 2024

ඉන්දියාවට අභියෝගයක්..ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් රැසක්

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය තෙවැනි ටෙස්ට් තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේදී හෙට (12දා) ආරම්භ වන්නේ මෙම ක්‍රීඩා පිටියේදී ඉන්දියාව සහභාගි වන පළමු ටෙස්ට් තරගය ලෙසිනි.

මේවන විට තරග 2-0ක් ලෙස ටෙස්ට් තරගාවලිය පරාජයට පත්වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම තම ප්‍රධානතම පන්දු යවන්නකුද නොමැතිව (රංගන හේරත්) හෙට තරගයට මුහුණ දෙන අතර, මෙම ක්‍රීඩා පිටියේදී පසුගිය වසරේදී ඕස්ට්‍රේලියාවට එරෙහිව මංගල තරගයට ක්‍රීඩා කරමින් පළමු ඉනිමේදී කඩුලු 4ක් හා දෙවැනි ඉනිමේදී කඩුලු 3ක් දවාගත් චයිනමන් පන්දු යවන්නකු වන ලක්‍ෂාන් සඳකැන් මෙම තරගය සඳහා යොදවා ගැනීමට වැඩි අවස්ථාවක් තිබේ.

මේ අතර මෙම පිටියේදීම පසුගිය වසරේදී ප්‍රබල ඕස්ට්‍රේලියානුවන්ද පරාජය කිරීමට සමත්ව තිබීමත් ඉන්දියාව මෙම පිටියේදී ක්‍රීඩා නොකර ඇති බැවිනුත් එම වාසිය ශ්‍රී ලංකාව සතුව ඇති අතර, එම තත්ත්වයට සුළුවෙන් හෝ එරෙහිව ඇත්තේ ආබාධ හේතුවෙන් මේ වනවිට කණ්ඩායමෙන් ඉවත්ව සිටින රංගන හේරත්ගේ හා නුවන් ප්‍රදීප්ගේ අඩුව පිරිමැසීමට අනෙකුත් පන්දු යවන්නන්ට හැකි වේද යන්නය.

තවද තරග තහනමකට යටත්ව හෙට තරගය සඳහා ක්‍රීඩා නොකරන ඉන්දීය පිලේ රවීන්ද්‍ර ජදේජා වෙනුවට චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් යොදවා ගැනීමට ඉඩ තිබේ. එසේ වුවහොත් කණ්ඩායම් දෙකක චයිනමන් පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය බවට පත්වනු ඇත.

එස්.එස්.සී. පිටියේදී පැවැති දෙවැනි තරගයට කැඳවා එහිදී අසාර්ථක වූ ධනංජය ද සිල්වාගේ ස්ථානයට කලකට පසු ටෙස්ට් සංචිතයට එක්වූ ලහිරු තිරිමාන්න කැඳවීමට ඉඩ ඇති බවද දැනගන්නට ඇත. කෙසේ වුවත් මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටින ප්‍රධානතම වේගපන්දු යවන්නා වන ලහිරු කුමාරගේ සහායට දුෂ්මන්ත චමීර හෝ ළහිරු ගමගේ හෙට තරගයට ක්‍රීඩා කරනු ඇති බවද පැවැසේ.

යම් හෙයකින් තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා-ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී මේ වනවිට තරග 2-0ක් ලෙස පෙරමුණේ පසුවන ඉන්දියාව හමුවේ මීළඟ ටෙස්ට් තරගයත් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ඉන්දියාව හමුවේ මෙරටදී පැවැති තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සම්පූර්ණයෙන්ම පරාජය වන පළමු අවස්ථාව මෙය බවටද ඉතිහාසගත වනු ඇත.

ශ‍්‍රී ලංකා පිතිහරඹ සැලසුමේ වෙනසක්

ශ්‍රී ලංකා පිලේ පිතිහරඹය වෙනස් අයුරින් සැලසුම් කර අශ්වින් දැඩි ප්‍රහාරයකට ලක් කිරීමෙන් ප්‍රතිවාදීන් මෙල්ල කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

එවැනි ප්‍රහාරාත්මක පිතිහරඹයක නිරතවිය හැකි පිතිකරුවන් කිහිපදෙනකුම ශ්‍රී ලංකා පිලේ සිටින බැවින් එම සැලසුම සාර්ථක කරගත හැකිවනු ඇතැයි ද කණ්ඩායම තුළ දැඩි විශ්වාසයක් ඇතිවී ඇතැයි වාර්තා වෙයි.

විශේෂයෙන් අනූව දශකයේ දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබලතම පන්දු යවන්නන් සිය ප්‍රහාරාත්මක පිතිහරඹයෙන් මෙල්ල කළ ශ්‍රී ලංකා පිලේ හිටපු විශිෂ්ට පිතිකරු අරවින්ද ද සිල්වාගේ පිතිහරඹ රටාව ඉස්මතු කළ හැකි වර්ගයේ පිතිකරුවකු ලෙස සැළකෙන හිටපු නායක ඇන්ජෙලෝ මැතිව්ස් පල්ලෙකැලේ ටෙස්ට් තරගයේදී අංක 4 පිතිකරු ලෙස උසස්වීමක් ලබාදී එවැනි ප්‍රහාරයක් කරා ඔහු යොමුකරවීමට ද කණ්ඩායමේ සැලසුමක් ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා වන මැතිව්ස් නායකත්වයේ පීඩනයෙන් මිදී සිටින බැවින් ඔහුට නිදහසේ එවැනි ප්‍රහාරයකට යොමුවීමට ඇති හැකියාව කෙරෙහි ද කණ්ඩායමේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වෙයි.

නායකත්වයෙන් ඉවත්වීමෙන් පසුව මැතිව්ස් ක්‍රමයෙන් සිය පිතිහරඹය වේගවත් කරමින් සිටින බවක් පෙනෙන්නට තිබෙන අතර ඉන්දියාව සමග ගාල්ල ජාත්‍යන්තර පිටියේ පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ඔහු අංක 5 ස්ථානයේ ක්‍රීඩා කරමින් පන්දු 130කින් රැස් කළ ලකුණු 83ට හතරේ පහර 11ක් සහ හයේ පහරක් ඇතුළත් වූ අතර ඉන්දියාව සමග එස්.එස්.සී. පිටියේ පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී පන්දු 33කදී ලකුණු 26ක් රැස් කරනු ලැබුවේ හතරේ පහර2ක් සහ හයේ පහර 2ක් සමගිනි. එමෙන්ම පන්දු 66කින් ලකුණු 33ක් රැස් කළ දෙවැනි ඉනිමේදී ඔහු හතරේ පහර 3ක් සහ හයේ පහරක් එල්ල කිරීමට සමත් විය.

හෙට තරගයට අදාළ ශ්‍රී ලංකා සංචිතය මෙසේය - දිනේෂ් චන්දිමාල් (නායක), උපුල් තරංග (උපනායක), ඇන්ජිලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, ළහිරු තිරිමාන්න, ධනංජය ද සිල්වා, විෂ්ව ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, දිමුත් කරුණාරත්න, ළහිරු කුමාර, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, මලින්ද පුෂ්පකුමාර, ළහිරු ගමගේ, දුෂ්මන්ත චමීර

Rate this item
(0 votes)
Last modified on Friday, 11 August 2017 07:24