April 25, 2024

හතුරුසිංහගෙන් විශේෂ ප‍්‍රකාශයක්

පුරප්පාඩු වී ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු තනතුර වෙනුවෙන් චන්දික හතුරුසිංහ පත්කර ගැනීමේ සූදානමක් ඇතැයි මේ දිනවල බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණද එළැඹෙන 2019 ලෝක කුසලානය තෙක් තමන් බංග්ලාදේශ කණ්ඩායමේ පුහුණුකරුවා ලෙස කටයුතු කරනු ඇති බව හතුරුසිංහ බංග්ලාදේශ මාධ්‍ය හමුවේ පවසා ඇත.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ මේ වනවිට තමන්ට පැවැරී ඇති රාජකාරිය වන්නේ බංග්ලාදේශ කණ්ඩායම ලොව අනෙක් රටවලට වඩා ඉදිරියෙන්ම තබා ගැනීමේ අභියෝගය ජය ගැනීමට බවය.

"බංග්ලාදේශ ක්‍රීඩකයන් දිනෙන් දින දියුණුවට පත්වෙන කණ්ඩායමක්. මේ නිසා දැනට සංචිතයේ ඉන්න ක්‍රීඩකයන් සංඛ්‍යාව 20 දක්වා වැඩි කිරීමේ විශාල චිත්‍රයක් (වුවමනාවක්) අපට තියෙනවා. 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තමයි අපේ ප්‍රධානම ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ. ඒ සඳහා දැනටමත් බංග්ලාදේශ ක්‍රීඩකයන් ඉතාමත් ඉහළ තීව්‍රතාවක් ඇතිව පුහුණුවීම් කටයුතු කරනවා. ඒ වගේම අනෙක් නවක ක්‍රීඩකයනුත් ජාතික කණ්ඩායමේ ඉන්න ක්‍රීඩකයන් සමඟ පුහුණුවීම් කරන නිසා තමන් තව මොනවද දියුණුකර ගත යුත්තේ කියලා නවක ක්‍රීඩකයන් වටහාගන්නවා" යනුවෙන්ද හතුරුසිංහ පවසා තිබිණි.

"අපි මේ වනවිට ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන කණ්ඩායමක් බවට පත්වෙලා තියෙනවා. ඒ වගේම ඉදිරියටත් තරගයක් ජයගත යුත්තේ කෙසේද යන්න සැලසුම් අපි ළඟ තියෙනවා. ඒ කොහොම වුණත් ඕස්ට්‍රේලියානුවන්ට එරෙහිව ඉදිරියේදී පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ජයගැනීම තමයි මේ වනවිට අපේ ප්‍රධානතම ඉලක්කය බවට පත්වෙලා තියෙන්නේ" යනුවෙන්ද හතුරුසිංහ පවසා තිබේ.

Rate this item
(2 votes)
Last modified on Friday, 04 August 2017 08:34