April 25, 2024

ශ‍්‍රී ලංකා කණ්ඩායම අවදානම් කළාපයක

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් ගැටුමේ දෙවැනි දිනය වූ ඊයේ(27) ඉන්දියාව වාර්තා කළ ලකුණු 600ක දැවැන්ත ඉනිමට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව කඩුලු 5ක් දැවී ලකුණු 154ක් රැස්කර ගෙන සිටියේය.

පිට පිට දෙවැනි වතාවටත් පන්දුවට පහර දීමෙන් වැළකී සිටීම පිණිස ශ්‍රී ලංකාවට තවත් ලකුණු 247ක් අවශ්‍යව තිබේ. මේ සඳහා ඔවුන්ට ඉතිරිව ඇත්තේ තව කඩුලු 4ක් පමණි.

ඊයේ තරගය නතර කරන විට ඇන්ජලෝ මැතිව්ස් හතරේ පහර 8ක් හා හයේ පහරක් සමග පන්දු 92කින් ලකුණු 54ක් රැස්කර ගෙන සිටියේය. නොදැවී සිටි අනෙක් පිතිකරු ඩිල්රුවන් පෙරේරා ලකුණු 6ක් ලබා ගෙන සිටියේය.

මොහමඩ් ෂාමි හා උමේෂ් යාදව්ගේ වේග පන්දු ප්‍රහාරය හමුවේ ශ්‍රී ලංකා මුල් කඩුලු 3 ලකුණු 68කට බිඳ වැටීමෙන් පසුව උපුල් තරංග හා මැතිව්ස් ලකුණු 57ක සබඳතාවක් ගොඩනැගූහ. තරංග ලකුණු 64ක් රැස් කළේය.

ෂිකර් ධවාන් පෙරේදා ලකුණු 190ක් රැස් කිරීමෙන් පසුව චෙටෙෂ්වාර් පුජාරා ලකුණු 153ක්ද, අජින්කියා රහානි ලකුණු 57ක්ද ලබා ගැනීමට ඊයේ සමත් වූහ. ඉන්පසුව, රවිචන්ද්‍රන් අශ්වින් (47) සහ හර්ඩික් පාන්ඩියා (50) ඇතුළු පසුපෙළ පිතිකරුවෝ ඉන්දියාව 600ක මුළු ලකුණු ප්‍රමාණයක් කරා ගෙන ගියහ.

තුවාල ලබා සිටින අසේල ගුණරත්න නොමැතිව හා පිතිකරුවන් 10 දෙනෙකුගෙන් පමණක් සමන්විතව සිය පළමු ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකාවේ පළමු කඩුල්ල දෙවැනි ඕවරයේදීම බිඳ වැටුණේ ලකුණු පුවරුවට මුළු ලකුණු 7ක් පමණක් එක්ව තිබියදීය. උමේෂ් යාදව්ගේ පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දිමුත් කරුණාරත්න ලකුණු 2කට දැවී ගියේ පන්දු 9කට පමණක් මුහුණ දීමෙන් පසුවය.

Rate this item
(0 votes)