April 16, 2024

ගාලු තරගයේදී රංගනට සුවිශේෂි කඩඉමක් පසුකිරීමේ අවස්ථාවක්

ඉන්දියානුවන්ව මෙල්ල කිරීම සඳහා එක එක ක්‍රීඩකයාට වෙන වෙනම සැලසුම් භාරදී ඇති බවත් ඒ වෙනුවෙන් කණ්‌ඩායමේ සියලුම දෙනා හොඳ මානසික තත්ත්වයකින් පසුවන බව රංගන හේරත් ඊයේ පුහුණු සැසිය අවසන් කරමින් මාධ්‍ය හමුවට පැමිණ පැවසීය.

ක්‍රිකට්‌ තේරීම් කමිටු සභාපති සනත් ජයසුරිය සහ ක්‍රිකට්‌ කළමනාකරු අසංක ගුරුසිංහ සමග තණතීරුවේ ස්‌වභාවය පිළිබඳව කතිකාවතක යෙදුන හේරත්ට හොඳ තණතීරුවක්‌ සකස්‌වී ඇති බවද පවසයි. “ඇත්තටම මේ තණතීරුව ගොඩක්‌ හොඳයි. මම හිතන්නෙ දඟ කැවෙනවනම් සිව්වැනි දිනයේ සහ පස්‌වැනි දිනයේ තමයි තණතීරුවේ වෙනසක්‌ වෙන්නේ.”

මේ වන විට ටෙස්‌ට්‌ තරග 81 කදී කඩුලු 384 ක්‌ දවා ගනිමින් 400 වැනි ටෙස්‌ට්‌ කඩුල්ල සොයමින් සිටින හේරත් ඊයේ මාධ්‍ය හමුව අවසානයේදී ‘දිවයින’ විසින් ඒ සම්බන්ධයෙන් විමසන ලදුව, “මම හිතනව මේ තරගයේදී හෝ තරගාවලියේදී මට 400 ගන්න පුළුවන් වෙයි කියලා.’ යනුවෙන් ධනාත්මක ප්‍රතිචාරයක්‌ ලබා දුන්නේය.

මීට පෙර සිම්බාබ්වේට එරෙහිව ටෙස්‌ට්‌ තරග හතරකට නායකත්වය දුන් හේරත් එහිදී තෙවරක්‌ම ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්ව තිබේ. ඒ අනූව ඔහු ඉන්දියාවට එරෙහිව වෙන වෙනම සැලසුම් භාරදී ඇති බවද පැවසීය. “ඉන්දියාවත් සමග තරග කරන්න තියෙන අමාරුව අපි දන්නවා. ඒ නිසා එක එක අයට වෙන වෙනම සැලසුම් භාරදීලා තියෙනවා. ඒ සැලසුම් ඔස්‌සේ අපි හොඳ ප්‍රතිඵලයක්‌ අපේක්‍ෂා කරනවා.”

පළමු පෙළ තරග සියයකදී කඩුලු පන්සියයක්‌ දවා ගෙන සිටින මලින්ද පුෂ්පකුමාරට අවස්‌ථාවක්‌ හිමිවේද යන්න පිළිබඳව විමසන ලදුව හේරත් පවසා සිටියේ, “ඔහු ඉතාමත් විශිෂ්ට පන්දු යවන්නෙක්‌. ඔහුට අනිවාර්යයෙන්ම ඉදිරියේදී අවස්‌ථාවක්‌ හිමිවෙයි. මොකද අපි තවම මේ තරගයේ සංයුතිය තෝරල නැති නිසා හරියටම කියන්න බැහැ. අනිවාර්යයෙන් චන්දිමාල්ගෙ ස්‌ථානයට ධනුෂ්ක හෝ ධනංජය දෙන්නාගෙන් එක්‌කෙනෙක්‌ ක්‍රීඩා කරාවි. ධනුෂ්ක ඉතාමත් හොඳ පුහුණුවක සහ මානසිකත්වයක ඉන්නවා.” යනුවෙනි.

39 වැනි වියේ පසුවන රංගන හේරත් තව කොතරම් කාලයක්‌ ක්‍රිකට්‌ ක්‍රීඩාවේ රැඳී සිටීවිදැයි යොමු කළ ප්‍රශ්නයේදී ඔහු ලබාදුන්නේ මෙවැනි අදහසකි. “මම දැන් ක්‍රීඩා කරන්නෙ ටෙස්‌ට්‌ විතරයි. මම මේ ක්‍රීඩාවෙන් ගොඩක්‌ සතුටු වෙනවා. තවම යන දිනයක්‌ තීරණය කරල නැහැ. තරගයෙන් තරගයට සහ තරගාවලියෙන් තරගාවලියට ක්‍රීඩා කරගෙන යනවා.”

Rate this item
(0 votes)