March 29, 2024

පළමු වටයේ අවසන් තරගයේ ජය ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන්ට

11 වැනි ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ තරග අවසන් කරමින් ලෙෂ්ටර්හිදී ඊයේ (15) පැවැති තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ලකුණු 15 කින් පාකිස්තානු පිල පරාජය  කිරීමට සමත් වූහ.

ශ්‍රී ලංකා පිල මෙම තරගාවලියේ සහභාගි වූ තරග හතේදී ලැබූ එකම ජය මෙය වේ. ඒ අනුව ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු 2 ක් ලබා කණ්ඩායම් අටෙන් හත්වැනි තැනට පත්විය.

ලකුණු 222 ක ඉලක්කය හඹාගිය පාකිස්තානු පිල ඕවර 46.4 කදී ලකුණු 206 කට සීමා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.

වමතින් දඟ පන්දු යවන චන්දිමා ගුණරත්න අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගනිමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වූවාය.

චන්දිමා ගුණරත්න තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස ද සම්මාන ලැබුවාය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකා ඩිලානි මනෝදරා ජයග්‍රහණයට හොඳ අඩිතාලමක් දමමින් පන්දු 111 කදී හතරේ පහර 9 ක් සමගින් ලකුණු 84 ක් රැස්කිරීමට සමත් වූවාය. මෙය මනෝදරාගේ තෙවැනි එක්දින ජාත්‍යන්තර අර්ධ ශතකයයි.

 

Rate this item
(0 votes)