April 18, 2024

ලසිත්- මැතිව්ස් – කපුගෙදර – කුසල් ඉවතට!

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට තරුණ ක‍්‍රීඩකයන් රැසක් ඇතුළත් කිරීමට පසුගිය සතියේ රැස්වූ ජාතික ක‍්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබුණි. සිම්බාබ්වේ සංචාරයේදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් කීපදෙනකු විවේක ගන්වා තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීමට තේරීම් කමිටුව සූදානම් වෙයි.

ශ‍්‍රී ලංකා පිල ලබන ජූලි මාසයේදී ප‍්‍රබල ඉන්දීය පිලට එරෙහිව පූර්ණ තරගාවලියට සහභාගි වීමට නියමිතය. එම තරගාවලියට ටෙස්ට් තරග තුනක්, එක්දින තරග 5 ක් සහ විස්සයි20 තරග දෙකක් ඇතුළත් වේ.

ඉන්දියාව යනු දස්කම් අතින් සිම්බාබ්වේට වඩා අහසට පොළව මෙන් වෙනස් කණ්ඩායමක් බව අමුතුවෙන් කිවයුතු නැත. සිම්බාබ්වේ පරාජය කර ඉන්දියාව හමුවේ සරුංගල් යැවීමට කිසිදු අවස්ථාවක් නොමැති බව ක‍්‍රීඩකයන් මෙන්ම ක‍්‍රිකට් පරිපාලකයන් ද මතකයේ තබා ගත යුතුය.

ඉන්දියාව හමුවේ භාග ක‍්‍රීඩකයන්ගෙන් ක‍්‍රීඩා කර ජය ලැබීමට සිහින දකින්නේ නම් එය සැබෑ නොවන දවල් හීනයකි. ශ්‍රී ලංකාව නැවතත් ශ්‍රී ලංකාවේ ක‍්‍රමයට පැමිණීමේ කාලය පැමිණ තිබේ. භාග සමඟ තවදුරටත් පිටියට පැමිණිය හොත් ප‍්‍රතිඵලද භාග වීම නැවැත්විය නොහැක.

ශ්‍රී ලංකාව පසුගිය ‘ශූරයන්ගේ කුසලාන’ තරගාවලියේදී පිතිකරුවන් අටක් සමඟ පිටියට පැමිණියේ පන්දු යවන්නන්ගේ අංශය දුර්වල කරමිනි. එම වැරැද්ද නැවත කළ නොහැකි අතර සිම්බාබ්වේ සංචාරයේදීම එය නිවරදි කරගත යුතුව තිබේ.

සිම්බාබ්වේ සංචාරය වෙනුවෙන් පසුගිය සතියේ 28 දෙනකුගෙන් යුත් සංචිතයක් නම් කළ අතර එම සංචිතයට ශ්‍රී ලංකා වයස 19න් පහළ නියෝජනය කළ ක‍්‍රීඩකයන් කීපදෙනකු සහ අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේදී දස්කම් දැක්වූ ක‍්‍රීඩකයන් කීප දෙනෙක් ඇතුළත්ව සිටියහ.

තරුණ දක්‍ෂ පිතකිරුවන් වන සදීර සමරවික‍්‍රම, චරිත් අසලංක සහ වනිඳු හසරංග එම සංචිතයට ඇතුළත්ව සිටියහ. සිම්බාබ්වේ වැනි ශ්‍රේණිගත කිරීමේ පහළ සිටින කණ්ඩායමකට එරෙහිව තරගාවලියදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් විවේක ගන්වා තරුණ ක‍්‍රීඩකයන්ට අවස්ථාව ලබාදීම ශ්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අනාගතය සම්බන්ධව ඉතාමත් හොඳ තීරණයකි.

මෙහිදී ශ්‍රී ලංකා පිලේ ශක්තිය සහ සමබරතාව රැකෙන පරිදි තරුණයන් කණ්ඩායමට ඇතුළත් කිරීමේ වගකීම තේරීම් කමිටුවට පැවරී තිබේ. එසේ නොවුණ හොත් සිම්බාබ්වේ වැනි පිල හමුවේ ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ශ්‍රේණිගත කිරීමේ පහළ වැටීමේ අවදානමක් තිබේ.

තේරීම් කමිටුව පසුගිය කාලය පුරා සංචිතයට උඩින් ගෙන ආ ක‍්‍රීඩකයන්ගෙන් කිසිවකු මේ වන විට කණ්ඩායමේ නොමැත. සමහර ක්‍රීඩකයෝ අන්තර් සමාජ තරගාවලියෙන් සංචිතයට පැමිණියහ. පසුගිය වසරක දෙකක පමණ කාලය තුළ ක‍්‍රීඩකයන් 30කට අධික සංඛ්‍යාවක් අත්හදා බලා තිබුණ නමුත් ඔවුන් මේ වන විට සොයාගන්නටවත් නොමැත. ඒ හේතුවෙන් එවැනි අත්හදා බැලීම පළ රහිත බවට එම ක‍්‍රීඩකයෝ සාක්‍ෂි දරති.

පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් ආබාධවලට ගොදුරු වීම වඩාත් බරපතළ තත්ත්වයක් බවට පත්ව තිබේ. ඇතැම් ක‍්‍රීඩකයන් ආබාධ සඟවාගෙන සංචාරවලට සහභාගි වී සංචාරය අතරතුරදී ආබාධය උත්සන්න වීමෙන් තේරීම් කමිටුව අපහසුතාවට පත් කරවන බව නම හෙළි කිරීමට අකමැති තේරීම්වලට සම්බන්ධ නිලධාරියෙක් පැවසීය.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවා සහ නිත්‍ය නායකයා වන ඇන්ජලෝ මැතිව්ස් ආබාධයකට ලක්ව සුවය ලබමින් සිටින නිසා මෙම තරගාවලියේදී බොහෝ විට විවේක ගැනීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග, ප‍්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සහ මැද පෙළ පිතිකරු චාමර කපුගෙදර යන ක‍්‍රීඩකයෝ විවේක ගැන්වීමේ ලැයිස්තුවේ උඩින්ම සිටිති.

ලසිත් මාලිංග නැවතත් ඉන්දීය සංචාරයේ එක්දින තරගාවලියේ අවශ්‍යතාව අනුව ක‍්‍රීඩා කිරීමට නියමිත අතර ඔහු එම තරගාවලියේ විස්සයි20 තරග දෙක අනිවාර්යෙන් ක‍්‍රීඩා කරනු ඇති බවට කියවේ.

Rate this item
(0 votes)