April 20, 2024

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සැනසුම් සුසුමක්

අයි. සී. සී. ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් 7 වැනි ස්ථානයේ පසුවූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය අවසන් වන විට එහි 8 වැනි ස්ථානය දක්වා පසුබැසීමට සිදුවී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානය දක්වා පහළට වැටුණ පළමු අවස්ථාව මෙය වන අතර මෙහි ඇති බරපතළකම වන්නේ 2019 ලෝක කුසලාන තරගාවලියට නිරායාසයෙන් සුදුසුකම් ලබාගැනීමට නම් මේ වසරේ සැප්තැම්බර් මස 30 වැනිදා වන විට එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ පළමු 8 දෙනා අතර ස්ථානයක් රැකගත යුතු වීමයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රිකට් කළමණාකරු අසංක ගුරුසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකා පිලත් කොදෙව් පිලත්  අතර පරතරය තරමක් වැඩි බැවින් සැප්තැම්බර් 30 වැනිදා වන විට ශ්‍රී ලංකා පිලට 8 වැනි ස්ථානයේ රැඳී සිටිය හැකි නමුත් තමන්ගේ අවධානය යොමුවී ඇත්තේ ඉදිරියේ එන තරගාවලි දෙකම ජයගැනීම පිළිබඳව බවයි.

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ප්‍රසාද ලකුණු 16 ක පරතරයක් තිබුණද ඉන්දියාව සහ බටහිර ඉන්දීය කණ්ඩායම් අතර ලබන සිකුරාදා (23 වැනිදා) ආරම්භ වන එක්දින තරගාවලියේදී තරග දෙක තුනක් ජයගතහොත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වැඩිකරගැනීමේ හොඳ අවස්ථාවක් කොදෙව් පිලට තිබේ.

ශුරයන්ගේ කුසලාන තරගාවලිය ආරම්භයේදී ශ්‍රේණිගත කිරීම්හි 8 වැනි ස්ථානයේ රැදී සිටි පාකිස්තාන කණ්ඩායම මූලික වටයේදී ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයේ සිටි දකුණු අප්‍රිකාවත්, අවසන් පූර්ව වටයේදී ශ්‍රේණිගත කිරීම්හි සිවුවැනි ස්ථානයේ සිටි එංගලන්ත කණ්ඩායමත් පරාජය කිරීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම එහි 8 වැනි ස්ථානය දක්වා ඇද වැටුණේය.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ප්‍රසාද ලකුණු 93 බැගින් ලබා දෙපිලම හත්වැනි තත්ත්වයේ සිටිය අතර ශ්‍රී ලංකාවේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාවට වඩා පාකිස්තානයේ ප්‍රසාද ලකුණු සංඛ්‍යාව දශම ස්ථාන කිහිපයකින් ඉහළින් සිටීම නිසා ඔවුන්ට ශ්‍රේණිගත කිරීම්හි 7 වැනි ස්ථානය හිමිවිය. එහෙත් අවසන් මහ තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගැනීමට සමත් වීමත් සමඟ පාකිස්තානය තවත් පියවරක් ඉදිරියට තබමින් ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

අවසන් මහ තරගයේදී ලැබූ පරාජයත් සමග එතෙක් ශ්‍රේණිගත කිරීම්හි 2 වැනි ස්ථානයේ පසුවූ ඉන්දියාව තෙවැනි ස්ථානය දක්වා පහළට ඇද වැටුණ අතර තෙවැනි ස්ථානයේ සිටි ඕස්ට්‍රේලියාව නිරායාසයෙන්ම දෙවැනි ස්ථානය දක්වා උසස්වීමක් ලැබීය.

රට තරග ලකුණු ප්‍රසාද ලකුණු
දකුණු අප්‍රිකාව 50 5957 119
ඕස්ට්‍රේලියාව 47 5505 117
ඉන්දියාව 36 4170 116
එංගලන්තය 50 5645 113
නවසීලන්තය 46 5123 111
පාකිස්තානය 41 3885 95
බංග්ලාදේශය 31 2905 94
ශ්‍රී ලංකාව 49 4553 93
බ. ඉ. කොදෙව් 32 2462 77
ඇෆ්ගනිස්තානය 30 1618 54
සිම්බාබ්වේ 36 1640 46
අයර්ලන්තය 25 1028 41

 

Rate this item
(4 votes)