April 25, 2024

ශ්‍රී ලංකාව චැම්පියන්ස් කුසලාන තරගාවලියෙන් විසිවෙයි

දෙපිලක වේග පන්දු යවන්නන් අතර සටනක් බවට පත්වූ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර වේල්සයේ කාඩිෆ් නුවර ඊයේ පැවැති තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කළ පාකිස්තානය 2017 චැම්පියන්ස් කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසියේය. මේ සමගම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට විසි විය.

ජයග්‍රහණය පෙනි පෙනී තිබියදී ශ්‍රී ලංකාව පරාජය වූයේ උඩ පන්දු අතහැරීම හා පන්දු රැකීමේ දුර්වලතාව නිසාවෙනි. ශ්‍රී ලංකාව වෙතින් ජයග්‍රහණය උදුරා ගත්තේ සා‍‍ෆ්රාස් අහමඩ් හා මොහමඩ් අමිර් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ඕවර 15ක් ඇතුළත අතිඅගනා ලකුණු 75ක නොබිඳි සබඳතාවක් ගොඩනගමින් පාකිස්තානය අවසන් පූර්ව වටයට ගෙන ගියේය. නායකත්වයේ  ඉනිමක් ක්‍රීඩා කළ සා‍ෆ්රාස් අහමඩ් හතරේ පහර 5ක්ද සමග පන්දු 79කින් නොදැවී ලකුණු 61ක් රැස් කරමින් පාකිස්තානය ජයග්‍රහණය කරා ඇදගෙන ගියේය. ඔහුට නොමඳ සහායක් ලබා දුන් මොහමඩ් අමිර් හතරේ පහරක් සමග පන්දු 43කින් නොදැවී ලකුණු 28ක් ලබා ගත්තේය.

ලකුණු 237ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමේදී පාකිස්තාන කඩුලු 7ක් ලකුණු 162කට බිඳ වැටී තිබුණද අහමඩ් හා අමිර් තරගයේ තවත් ඕවර පහයි පන්දුවක් ඉතිරිව තිබියදී පාකිස්තානය කඩුලු 3ක විශිෂ්ට ජයග්‍රහණයක් කරා ගෙන යාමට සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 49.2 කදී සියලු දෙනා දැවී ලකුණු 236 ක් ලබාගත්තේය.

ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල පන්දු 86 කදී ලකුණු 73 ක් ලබාගත් අතර පාකිස්තානය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක යෙදුණු ජුනයිඩ් ඛාන් ලකුණු 40 කට කඩුලු 3 ක් දවාගත්තේය.


Rate this item
(0 votes)