April 19, 2024

ශකීබ් - මහමුදුල්ලාගේ විශිෂ්ට සබදතාවය ප‍්‍රබල නවසීලන්ත කණ්ඩායම ගූරයන්ගේ කුසලානයෙන් ඉවතට ඇද දමයි

විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ශකීබ් අල් හසන් (114) සහ මහමුදුල්ලා (නොදැවී 102) එක්ව පස්වැනි කඩුල්ල සදහා පැවැත්වූ වාර්තාගත ලකුණු 224 ක සම්බන්ධතාවය හේතුවෙන් ශූරයන්ගේ කුසලාන තරගාවලියේ කාර්ඩීෆ්හිදී අද (09 වැනිදා) පැවැති තරගයෙන් නවසිලන්තයට එරෙහිව කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශය සමත් විය. මෙම ජයත් සමගින් බංග්ලාදේශය අවසන් පූර්ව වටය අභියසටම පැමිණ ඇති අතර හෙට (10 වැනිදා) එංගලන්තය සහ ඕස්ටේ්‍රලියාව අතර බර්මින්හැමි හිදී පැවැත්වෙන තරගයේ ජයග්‍රාහකයා අනුව අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගන්නා කණ්ඩායම් දෙක තීරණය වනු ඇත.

ශකීබ් අල් හසන් සිය 7 වැනි එක්දින ශතකය පන්දු 111 කදි වාර්තා කළ අතර ටේ‍රන්ට් බෝල්ට්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විට පන්දු 115 කදී හයේ පහරක් සහ හතරේ පහර 11 ක් සමගින් ලකුණු 114 ක් රැස්කිරීමට සමත්විය. තරගය අවසන් වනතෙක් කඩුල්ලේ රැඳි සිටි මහමුදුල්ලා සිය 3 වැනි එක්දින ශතකය පන්දු 107 කදී වාර්තා කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර දෙකක් සහ හතරේ පහර අටක් ඇතුළත් විය.
ජයග්‍රහණය සදහා ලකුණු 266 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශය කඩුලු 5 ක් දැවී පන්දු 16 ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය තහවුරු කරගැනීමට සමත් විය. ශකීබ් අල් හසන් සහ මහමුදුල්ලා පස්වැනි කඩුල්ල සදහා පැවැත්වූ වාර්තාගත ලකුණු 224 ක සම්බන්ධතාවය සදහා වැයවූයේ පන්දු 209 ක් පමණි. මුෂ්ෆීකූර් රහීම් සහ ටමීම් ඉක්බාල් විසින් බංග්ලාදේශය වෙනුවෙන් ඕනෑම කඩුල්ලක් සදහා 2015 වසරේදී පාකිස්තානයට එරෙහිව තබා තිබූ ලකුණු 178 ක වාර්තාව මේ අනූව බිඳ වැටුණි.
බංග්ලාදේශ කණ්ඩායමේ මුළු ලකුණු සංඛ්‍යාව 12 ක් වන විටදී පළමු කඩුලු තුන දවාගනිමින් තරගයේ වැඩි වාසි නවසිලන්ත කණ්ඩායමට ලබාදීමට ටිම් සවුති සමත් වූ අතර තවත් ලකුණු 21 ක් එක්වනවිට සිවුවැනි කඩුල්ල ලෙස මුෂ්ෆීකූර් රහීම් ලකුණු 14 කට දවාගැනිමට ඇඩම් මිල්න් සමත් විය.
පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 265 ක් රැස්කිරීමට සමත් විය. කේන් විලියම්සන් සහ රොස් ටේලර් අර්ධ ශතක රැස්කරමින් තෙවැනි කඩුල්ල සදහා පන්දු 103 කදී ලකුණු 83 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වූහ.
සිය 31 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 58 කදි වාර්තා කළ කේන් විලියම්සන් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවීයාමකට හසුවන විට පන්දු 69 කදී හතරේ පහර පහක් සමගින් ලකුණු 57 ක් රැස්කිරීමට සමත්විය. අවසන් තරග හතර තුළදී තෙවතාවක් දුවද්දී දැවීයාම් වලට හසුව කේන් විලියම්සන් දැවී ගොස් ඇත. ශූරයන්ගේ කුසලාන තරගාවලි ඉතිහාසයේ පිට පිට අර්ධ ශතක හතරක් (67, 100, 87, 57) රැස්කළ පළමු පිතිකරුවා වන්නට කේන් විලියම්සන් අද සමත් විය.
රොස් ටේලර් සිය 37 වැනි එක්දින අර්ධ ශතකය පන්දු 67 කදි වාර්තා කළ අතර ටස්කින් අහ්මඞ්ගේ පන්දුවකට මිස්ටෆිසූර් රහ්මන් අතට උඩපන්දුවක් දෙමින් දැවීයන විට පන්දු 82 කදි හතරේ පහර හයක් සමගින් ලකුණු 63 ක් රැස් කර සිටියේය.
අවසන් ඕවර 10 දී නවසීලන්ත පිතිකරුවන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 62 ක් පමණි. මෙම තරගාවලියේදි කණ්ඩායමක් විසින් අවසන් ඕවර 10 දි රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව විය.  නවසීලන්ත පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කරමින් පන්දුයැවූ මොසැඩෙක් හුසේන් ඕවර 3 කදී ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
පළමු කඩුල්ල ලෙස ලකුණු 16 ක් ලබාසිටි ලුක් රොන්කි දවාගැනීමට ටස්කින් අහ්මඞ් සමත්වූ අතර මාටින් ගප්ටිල් ලකුණු 33 ක් ලබාසිටියදී රුබෙල් හුසේන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියේය.

Rate this item
(1 Vote)
Last modified on Saturday, 10 June 2017 07:54