April 20, 2024

පාකිස්තානුවන්ගේ නොසිතු ජයෙන් "B" කාණ්ඩය උණුසුම් වෙයි

චැමිපියන්ස් කුසලාන තරගාවලියේ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හා පාකිස්තානු කණ්ඩායම අතර ඊයේ(08) පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ලකුණු 19කින් ජය ගැනීමට පාකිස්තානු කණ්ඩායම සමත්වුනා.

ජයග‍්‍රහණය සදහා ලකුණු 220ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි පාකිස්තානු කණ්ඩායම පන්දුවාර 27ක් තුළ කඩුලු 03ක් දැවි ලකුණු 119ක් ලබා සිටියදී වර්ෂාව බාධා එල්ල වූ අතර ඩක්වත් ලුවිස් න්‍යාය යටතේ ඒ වන විට ලබා ගත යුතුව තිබුණේ ලකුණු 101ක් පමණයි.

පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් ඉවසිලිවන්ත ඉනිමක් ක‍්‍රීඩා කල බාබර් අසාම් නොදැවී ලකුණු 31ක් ලබා ගනිමින් පාකිස්තානුවන් ජයග‍්‍රහනය කරා මෙහෙයවනු ලැබුවා.

පළමුව පන්දුවට පහරදුන් දකුණු අප‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර 50තුළ කඩුලු 08දැවී ලකුණු 219ක් රැස් කළා

එහිදී හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කළ ඩේවිට් මිලර් පන්දු 104කදි ලකුණු 75ක් ලබාගනිමින් අසරණ වු දකුණු අප‍්‍රිකානු ඉනිම ගොඩනැගීමට සමත් වු අතර පාකිස්තානු කණ්ඩායම වෙනුවෙන් දක්ෂ පන්දුයැවීමක නිරත වූ හසන් අලී ලකුණු 24කට කඩුලු 03ක් බිද හෙළිමට සමත් වුනා.

මෙම ජයග‍්‍රහණයත් සමග ඉන්දියාව, පාකිස්ථානය, දකුණු අප‍්‍රිකාව සහ ශ‍්‍රී ලංකාවද සිටින B කාණ්ඩය මේ වන විට උණුසුම් වී තිබෙනවා.

ඒ, B කාණ්ඩයේ කණ්ඩායම් 04ට තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීම සඳහා තවමත් අවස්ථාව පැවතීම හේතුවෙන්.

තරගයේ ලකුණු පුවරුව පහතින්

Rate this item
(0 votes)