April 25, 2024

නවසීලන්තය පැරදූ එංගලන්තය ශූරයන්ගේ කුසලානයේ අවසන් පූර්ව තරගයට

චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවසීලන්තය සමග කාඩිෆ්හිදී ඊයේ පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ලකුණු 87ක ජයක් හිමිකර ගත් එංගලන්තය කණ්ඩායම අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

පළමුව පන්දුවට පහර දෙමින් එංගලන්තය ලබාදුන් ලකුණු 311ක ඉලක්කය හඹාගිය නවසීලන්තය ඕවර 44.3කදී ලකුණු 223කට දැවී ගියේය.

ලකුණු 63කට කඩුලු 2ක් බිඳ වැටී තිබියදී කේන් විලියම්සන් සමගින් එක්වූ පළපුරුදු පිතිකරු රොස් ටේලර් ලකුණු 95ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 158 දක්වා ඉදිරියට ගෙන ගියහ.

විලියම්සන් ලකුණු 87කටත්, ටේලර් ලකුණු 39කටත් දැවී ගියහ. හතරේ පහර 8ක් එල්ල කළ විලියම්සන් පන්දු 98කට මුහුණදී තිබිණි.

ආරම්භක පිතිකරු ලූක් රොන්චි මුහුණදුන් පළමු පන්දුවෙන් පිටියෙන් ඉවත් කිරීමට ජේක් බෝල් සමත් වූ අතර මාටින් ගප්ටිල් (27) දැවී ගියේ බෙන් ස්ටොක්ස්ගේ පන්දුවක් හමුවේ ජෝ රූට් උඩ පන්දුවක් රැක ගැනීමෙනි. එංගලන්ත පන්දු යවන්නන් හමුවේ සෙසු පිතිකරුවන්ට ලකුණු 20 සීමාව ඉක්මවීටම නොහැකි විය. පන්දු යැවීමේදී ලියම් ප්ලන්කට් කඩුලු 4ක් දවා ගත්තේය.

නවසීලන්ත පිලේ ඇරැයුමෙන් පිටියට පිවිසි එංගලන්ත පිලේ පළමු කඩුල්ල ලකුණු 37දී බිඳ වැටීමෙන් අනතුරුව ඇලෙක්ස් හේල්ස්ට එක්වූ ජෝ රූට් ලකුණු 81ක සබඳතාවක් පිහිටුවමින් මුළු ලකුණු සංඛ්‍යාව 118 දක්වා ඉදිරියට ගෙන ගිය අතර ඇඩම් මිල්නේ එම සබඳතාවට තිත තැබුවේ හේල්ස් පිටියෙන් ඉවත් කරමිනි. 10වැනි එක්දින අර්ධ ශතකය වාර්තා කළ හේල්ස් දැවී යනවිට පන්දු 62කදී හතරේ පහර 3ක් හා හයේ පහර 2ක් සමගින් ලකුණු 56ක් රැස්‍කරගෙන තිබිණි.

නායක ඔයින් මෝගන්ට ඊයේ වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට අවස්ථාවක් නොදුන් කොරී ඇන්ඩර්සන් මුළු ලකුණු සංඛ්‍යාව 134දී මෝගන් (13) දවා ගැනීමට සමත් වූ අතර සිවුවැනි කඩුල්ල ලෙස ජෝ රූට්ද පිටියෙන් ඉවත් කිරීමට ඔහු සමත් විය.

22වැනි ජාත්‍යන්තර එක්දින අර්ධ ශතකය වාර්තා කරමින් පන්දු 65කට මුහුණදුන් රූට් හතරේ පහර 4ක් හා හයේ පහර 2ක් ඉනිමට එක්කර ගත්තේය. රූට් දැවී යෑමට පෙර බෙන් ස්ටොක්ස් සමගින් සිවුවැනි කඩුල්ලට ලකුණු 54ක් එක් කළේය.

වේගවත් ඉනිමක් දියත් කරමින් හතරේ හා හයේ පහර 2 බැගින් එල්ල කරමින් පන්දු 48කින් නොදැවී ලකුණු 61ක් රැස්කළ ජොස් බට්ලර්, ආදිල් රෂීඩ් (12) සමග පන්දු 21කින් ලකුණු 30ක හා ලියම් ප්ලන්කට් (15) සමගින් එක්ව පන්දු 30කින් ලකුණු 49ක සබඳතා ගොඩනැගීමට සමත් විය.

පිට පිට පන්දු දෙකකින් අවසන් කඩුලු 2 බිඳ දැමීමට ටිම් සවුති සමත් වීමත් සමග එංගලන්ත ඉනිම ලකුණු 310කට සීමා විය.

පන්දු යැවීමේදී ඇඩම් මිලන් හා කොරී ඇන්ඩර්සන් කඩුලු 3 බැගින් දවාගත්හ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 June 2017 07:13