March 28, 2024

චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද සිට

අන්තර්ජාතික එක්දින තරග බිමේ විශිෂ්ටතම කණ්ඩායම් අටේ දස්කම් උරගා බැලෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය ලන්ඩන් නුවර ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද(01) ආරම්භ වෙයි.

පළමු තරගය සත්කාරක එංගලන්තය සහ බංග්ලාදේශය අතර ලන්ඩන් ඕවල් පිටියේදී පැවැත්වේ.

ශූරයන්ගේ කුසලාන තරගමාලාවේ මෙවර ජයග්‍රාහකයන්ට පිරිනැමෙන සල්ලි මල්ල අමෙරිකානු ඩොලර් ලක්ෂ 22 ක් හෙවත් රුපියල් කෝටි 33 කි. මෙම සල්ලි මල්ලට අමතරව දිදුලන කුසලානයත් තමන්ගේ රටට රැගෙන යාමේ අදිටනින් ලොව හොඳම ක්‍රිකට් ක්‍රීඩකයෝ පසුගිය සතියේ එංගලන්තයට වී සිය දස්කම් මුවහත් කරමින් සිටියහ.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, නවසීලන්තය, පාකිස්තානය මෙන්ම ඕස්ටේ්‍රලියාවත් පුහුණු තරග කිහිපයකට සහභාගි වූහ. සත්කාරක එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරග 3 කින් සමන්විත තරගාවලියේදී 2-1 ක තරගාවලි ජයක් ලබාගත් එංගලන්ත කණ්ඩායම මෙවර ශූරයන්ගේ තරගාවලියේදී කාගේත් තේරීම බවට පත්ව තිබේ.

කලකට ඉහතදී ‘පුංචි ලෝක කුසලාන’ තරගමාලාව ලෙස හඳුන්වනු ලබන මේ තරගාවලියට එම පටබැඳි නාමය අහිමි වූයේ විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියේ ආරම්භයත් සමගිනි.

ලබන ජූනි 18 වැනිදා දක්වා සති දෙකකට වැඩි කාලයක් පුරා කාඩිෆ්, බර්මින්හැම් සහ ලන්ඩන් ඕවල් යන ක්‍රීඩාංගණවලදී පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය දෙවැනි වන්නේ ලෝක කුසලාන එක්දින තරගමාලාවට පමණි. මේ සඳහා සුදුසුකම් ලැබුවේ වසර 2015 සැප්තැම්බර් මස 30 වැනිදා වනවිට අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පළමු අටදෙනා අතර සිටි කණ්ඩායම් පමණි. 2015 සැප්තැම්බර් මස 30 වැනිදා වෙද්දී අන්තර්ජාතික එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවූ ඕස්ටේ්‍රලියාව සමග පිළිවෙළින් ඉන්දියාව, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ශ්‍රී ලංකාව, එංගලන්තය, බංග්ලාදේශය සහ පාකිස්තානය මෙවර තරගමාලාවට සුදුසුකම් ලබාගත්හ.

පිට පිටම තුන් වතාවක් (1975, 1979 සහ 1983) ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලැබ ඉන් දෙවතාවක්ම ලෝක කුසලාන දිනාගත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට මෙවර ශූරයන්ගේ තරගාවලියේ දොරටු වැසී ගියේ ඔවුන් 2015 සැප්තැම්බර් 15 වැනිදා වන විට එක්දින ක්‍රිකට් ශ්‍රේණිගත කිරිම්වල 9 වැනි තැන පසුවූ බැවිනි.

ශූරයන්ගේ කුසලාන තරගාවලිය පමණක් නොව එක්දින හෝ විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ ප්‍රධානතම තරග ඉසව්වකට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් නොලැබූ පළමු අවස්ථාව මෙය වෙයි. මෙවර තරගාවලියේ කැපී පෙනෙන තවත් සිදුවිමක් වන්නේ වසර 2006 ට පසුව බංග්ලාදේශය පළමු වතාවට ශූරයන්ගේ කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීමය.

මෙවර කාණ්ඩ 2 ක් යටතේ තරග පැවැත්වෙන අතර සෑම කණ්ඩායමක්ම මූලික වටයේදී තරග 3 කට ක්‍රීඩා කරයි. මූලික  වටය අවසානයේ කාණ්ඩවල පළමු හා දෙවැනි ස්ථාන අත්කර ගන්නා කණ්ඩායම් ශූරයන්ගේ කුසලානය හඹා යාමේ අවසන් පූර්ව වටයේ උණුසුමට එක්වනු ඇත.

පළමු අවසන් පූර්ව තරගය ජූනි මස 14 වැනිදා කාඩිෆ් හී සොෆියා ගාර්ඞ්න්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි අවසන් පූර්ව තරගය ජූනි මස 15 වැනිදා බර්මින්හැම් හී එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. මෙවර ශූරයන්ගේ කුසලානය දිනා ගන්නා කණ්ඩායම තීරණය කෙරෙන අවසන් මහා තරගය පැවැත්වෙන්නේ ජූනි මස 18 වැනිදා ලන්ඩනයේ ඕවල් ක්‍රීඩාංගණයේදීය.

මේ තරගාවලියට ඉතා නවීන තාක්ෂණයේ මෙවලම්වලින් සමන්විත ඉහළ මට්ටමේ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට එංගලන්තය කටයුතු යොදා තිබේ. පසුගියදා මැන්චෙස්ටර් නුවර දී කෙරුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් පසුව එංගලන්තය ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ පියවර ගෙන තිබේ.

ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙවර ජයග්‍රාහකයන්ට පිරිනැමෙන මුදල් ත්‍යාගය අමෙරිකානු ඩොලර් මිලියන 4.6 කි. එය පසුගිය වතාවේ (2013)  තෑගි මල්ල මෙන් මිලියන භාගයක වැඩිවීමකි. ශූරයන්ට ඩොලර් ලක්‍ෂ 22 සල්ලි මල්ලක් පිරිනැමෙද්දී අනුශූරයන්ට හිමිවන සල්ලි මල්ලේ ඩොලර් ලක්‍ෂ 11 ක් තිබේ.

අවසන් පූර්ව වටයෙන් පරාජයට පත්වන කණ්ඩායම් දෙකට ඩොලර් ලක්ෂ හතරහමාර බැගිනුත්, මූලික වටය නිමාවනවිට කාණ්ඩ දෙකේ තුන්වැනි තැනට පත්වන කණ්ඩායම් වලට ඩොලර් 90,000 ක් බැගිනුත් පිරිනැමේ.

එහෙත් කාණ්ඩ දෙකේ අන්තිමයන් අමතක කර නැත. කාණ්ඩ දෙකේ අන්තිමයන් වන කණ්ඩායම් දෙකටත් ඩොලර් 60,000 බැගින් (රුපියල් මිලියන 9 කට වැඩි) පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාව පියවර ගෙන තිබේ.

මෙම තරගාවලිය මහාද්වීප පහක රටවල් 200 ක සිටින බිලියන දෙකකට වැඩි ක්‍රීඩාලෝලීන් පිරිසක් රූපවාහිනිය මගින් නරඹනු ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

වසර දෙකකට වරක් පැවැත්වෙන තරගාවලියක් ලෙස 1998 දී ආරම්භ වූ ශූරයන්ගේ කුසලාන තරගාවලිය  2009 න් පසුව ලෝක කුසලාන තරගමාලාව මෙන්ම වසර 4 කට වතාවක් පැවැත්වීමට තීරණය වූ අතර එය මෙවර එංගලන්තයේ පැවැත්වෙන්නේ තුන්වැනි වරටය.

‘ඒ‘ කාණ්ඩය
ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, බංග්ලාදේශය

‘බී‘ කාණ්ඩය
දකුණු අප්‍රිකාව, ඉන්දියාව, ශ්‍රී ලංකාව, පාකිස්තානය

පසුගිය ශූරයෝ

■    1998 දී බංග්ලාදේශයේ පැවැති මංගල ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 4 කින් පරදවා ජයග්‍රහණය අත්පත් කරගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය.

■    2000 දී කෙන්යාවේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගත්තේ කඩුලු 4කින් ඉන්දියාව පරාජය කළ නවසීලන්තයයි.

■    2002 දී ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලිය නිමාවට පත්වූයේ අවසන් තරගයට බලපෑ වර්ෂාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සමශූරයන් බවට පත් කරමිනි.

■    2004 දී එංගලන්තයේ පැවැති තරගාවලියේ ශූරතාව දිනාගනු ලැබුවේ සත්කාරක එංගලන්තය කඩුලු 2 කින් පරාජය කළ බටහිර ඉන්දිය කොදෙව් පිල විසිනි.

■    2006 දී ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැති තරගාවලියේ ජයග්‍රහණය ඕස්ටේ්‍රලියාවට හිමිවූයේ බටහිර ඉන්දීය කොදෙව් පිල කඩුලු 8 කින් පරාජය කිරීමෙනි.

■    2008 දී පාකිස්තානයේ පැවැත්වීමට නියමිතව තිබූ තරගාවලිය ලාහෝර් නුවරදී ශ්‍රී ලංකා පිලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග අවලංගු කිරීමට සිදුවූ අතර පසුව එය 2009 දී දකුණු අප්‍රිකාවේ පැවැත්විණි. එහිදී පිට පිට ඕස්ටේ්‍රලියාව දෙවැනි වරටත් ශූරයන්ගේ කුසලානය දිනාගත්තේ නවසීලන්තයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබමිනි.

■    2013 දී එංගලන්තයේ හා වේල්සයේ පැවැති පසුගිය තරගාවලියේ දී ශූරයන්ගේ කුසලානය දිනාගත්තේ එංගලන්තයට එරෙහිව ලකුණු 5 ක තියුණු ජයක් වාර්තා කළ ඉන්දීය කණ්ඩායමයි.

තරග වදින කණ්ඩායම්

දකුණු අප්‍රිකාව
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 1
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 1998 ශූරයෝ
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – අවසන් පූර්ව වටය
කණ්ඩායම – ඒ.බී.ඩිවිලියර්ස් (නායක), හෂීම් අම්ලා. ක්වින්ටන් ඩි කොක්, ෆෆ් ඩු ප්ලෙසිස්, ජේ.පී.ඩුමිනි, ඬේවිඞ් මිලර්, ක්‍රිස් මොරිස්, වේන් පානෙල්, අන්දිලි පෙලුක්වායෝ, කගීසෝ රබාඩා, ඉම්රාන් තාහිර්, කේෂව් මහරාජ්, ඞ්වේන් ප්‍රිටෝරියස්, ෆර්හාන් බිහාර්ඩීන්, මෝර්නි මෝකල්
පුහුණුකරු – රසල් ඩොමින්ගෝ

ඕස්ට්‍රේලියාව
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 2
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2006, 2009 ශූරයෝ
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – මූලික වටය
කණ්ඩායම – ස්ටීවන් ස්මිත් (නායක), ඬේවිඞ් වෝනර්, පැට් කමින්ස්, ආරොන් ෆින්ච්, ජෝන් හැස්ටින්ග්ස්, ජොෂ් හේසල්වුඞ්, ටේ‍රවිස් හෙඞ්, මොයිසස් හෙන්රික්ස්, ක්‍රිස් ලින්, ග්ලෙන් මැක්ස්වෙල්, ජේම්ස් පැටින්සන්, මිචෙල් ස්ටාක්, මාකර් ස්ටොයිනිස්, මැතිව් වේඞ්, ඇඩම් සම්පා
පුහුණුකරු – ඩැරන් ලීමන්

ඉන්දියාව
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 3
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2002 සමශූරයෝ ,  2013 ශූරයෝ
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – ශූරයෝ
කණ්ඩායම -විරාත් කෝලි (නායක), ශිකර් ධවාන්. රෝහිත් ෂර්මා, අජින්ක්‍යා රහානේ, මහේන්ද්‍ර සිං දෝනි, යුව්රාජ් සිං, කේඩර් ජාඬේව්, හර්දික් පාන්ඩ්‍යා, රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජදේජා, මොහොමඞ් ෂමි, උමේෂ් යාදෙව්, බුව්නේෂ්වර් කුමාර්, ජස්ප්‍රිට් බුම්රා, දිනේෂ් කාර්තික්.
පුහුණුකරු – අනිල් කුම්බ්ලේ

නවසීලන්තය
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 4
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2000 ශූරයෝ
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – මූලික වටය
කණ්ඩායම -කේන් විලියම්සන් (නායක), මාටින් ගප්ටිල්, ටොම් ලේතම්, ලූක් රොන්චි, රොස් ටේලර්, නීල් බෘම්, ජිමි නීෂම්, කොරී ඇන්ඩර්සන්. මිච් සැන්ට්නර්, කොලින් ඩි ග්‍රැන්ඩෝම්, ජීටන් පටේල්, ටිම් සවුති, ඇඩම් මිල්නේ, මිචෙල් මැක්ලෙනගන්, ටේ‍රන්ට් බෝල්ට්
පුහුණුකරු – මයික් හේසන්

එංගලන්තය
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 5
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2004, 2013 අනුශූරයෝ
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – අවසන් තරගය
කණ්ඩායම -ඔයින් මෝගන් (නායක), මුයින් අලි, ජොනී බෙයාර්ස්ටොව්, ජේක් බෝල්, සැම් බිලින්ස්, ජොස් බට්ලර්, ඇලෙක්ස් හේල්ස්, ලියම් ප්ලන්කට්, ආදිල් රෂීඞ්, ජෝ රූට්, ජේසන් රෝයි, බෙන් ස්ටොක්ස්, ඬේවිඞ් විලි, ක්‍රිස් වෝක්ස්, මාක් වුඞ්.
පුහුණුකරු – ටේ‍රවර් බේලිස්

බංග්ලාදේශය
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 6
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2002. 2004 මූලික වටය
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – සුදුසුකම් ලැබුවේ නැත
කණ්ඩායම -මෂ්රාෆී මොර්ටාසා (නායක), ටමීම් ඉක්බාල්, සෞම්‍ය සර්කාර්, ඉම්රුල් කයිස්, මුෂ්ෆිකාර් රහීම්, ශකීබ් අල් හසන්. සබීර් රහ්මාන්, මහ්මදුල්ලා, මොසාදික් හොසේන්. මුෂ්තාෆිසුර් රහ්මාන්, රුබේල් හොසේන්, ටස්කින් අහමඞ්, සුන්සමුල් ඉස්ලාම්, මෙහෙදි හසන්, ෂෆියුල් ඉස්ලාම්.
පුහුණුකරු – චන්දික හතුරුසිංහ

ශ්‍රී ලංකාව
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 7
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2002 සම ශූරයෝ
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – අවසන් පූර්ව වටය
කණ්ඩායම – ඇන්ජෙලෝ මැතිව්ස් (නායක), චාමර කපුගෙදර, නුවන් ප්‍රදීප්, උපුල් තරංග, අසේල ගුණරත්න, නුවන් කුලසේකර, නිරෝෂන් දික්වැල්ල, දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, කුසල් ජනිත් පෙරේරා, ලසිත් මාලිංග, ලක්ෂාන් සඳකැන්, කුසල් මෙන්ඩිස්, සුරංග ලක්මාල්, සීකුගේ ප්‍රසන්න
පුහුණුකරු – ග්‍රෙහැම් ෆෝර්ඞ්

පාකිස්තානය
එක්දින ශ්‍රේණිගත කිරීමේ ස්ථානය – 8
චැම්පියන්ස් කුසලාන තරග ඉතිහාසයේ ඉහළම දක්ෂතාව – 2000, 2004, 2009 අවසන් පූර්ව වටය
අවසන් තරගමාලාවේ ප්‍රතිඵලය – මූලික වටය
කණ්ඩායම -සර්ෆ්‍රාස් අහමඞ් (නායක). අහමඞ් ශෙහ්සාඞ්, අසාර් අලි, බාබර් අසාම්, හාරිස් සොහේල්, මොහොමඞ් හෆීස්, ෆකාර් සමාන්, ඉමාඞ් වසිම්, ජුනෙයිඞ් ඛාන්, මොහොමඞ් අමීර්, ශඩාබ් ඛාන්, සොහේබ් මලික්, හසන් අලි, වහාබ් රියාස්, ෆාහිම් අෂ්රෆ්.
පුහුණුකරු – මිකී ආතර්

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 June 2017 11:57