March 29, 2024

බොක්සිං සභාපති ධූරය යලි ඩයන් ගෝමස්ට

මෙරට බොක්සිං ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්වී සිටින ඩයන් ගෝමස් මහතා ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නිලවරණයේදී සභාපතිධුරයට නිතරගයෙන් පත්විය.

කොළඹ රාජකීය විදුහල් ශ්‍රවණාගාරයේදී පසුගියදා පැවැති බොක්සිං සංගම් නිලවරණයේ දී සියලුම තනතුරු සඳහා නිලධාරී මණ්ඩලය නිතරගයෙන් පත්වීම විශේෂත්වයකි.

නව සභාපතිධුරයට පත්වූ ඩයන් ගෝමස් මහතා මීට පෙර 2006 වසරේ සිට බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් දේශීය බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තර තලයට ඔසවා තැබීමට සමත්වූ බැවින් මෙවර ඔහු නැවතත් එම තනතුරට පත්වීම මෙරට බොක්සිං ක්‍රීඩාවේ අභිවෘද්ධියට හේතුවනු ඇතැයි බොක්සිං ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ පවසති.

ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව බොක්සිං ක්‍රීඩාවෙන් පදක්කමක් දිනාගැනීම දැකීම සිය ජීවිතයේ දිර්ඝ කාලීන සිහිනයක් වී තිබූ බව නිලවරණයෙන් අනතුරුව ඔහු ප්‍රකාශ කළේය.

වසර 2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී එම සිහිනය සැබෑ කරගැනීමට මෙරට බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවශ්‍ය අඩිතාලම දැමීමට අවශ්‍ය සියලු පියවර ගන්නා බව නව සභාපතිවරයා කියා සිටියේය.

පසුගිය කාලයේ දී මෙරට බොක්සිං ක්‍රීඩාවේ පසුබැසීමත්, ජාතික සංචිතය බිඳ වැටීමත් කෙරෙහි දැඩි අවධානය යොමුකරමින් නැවතත් කියුබානු පුහුණුකරුවකු මෙරටට ගෙන්වා ගැනීමට සිය පළමු කාර්යය බව ඔහු පැවසී ය.

මෙරට යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනාගනිමින් ඔවුන්ට ජාත්‍යන්තර පුහුණුව ලබාදෙමින් වසර 2024 බොක්සිං ක්‍රීඩාවෙන් ඔලිම්පික් පදක්කමක් ශ්‍රී ලංකාවට හිමිවීමේ අඩිතාලම දැමීම ඔහුගේ අරමුණ වී තිබේ.

බොක්සිං සංගමයේ නව නිලධාරී මණ්ඩලය මෙසේය:
සභාපති – ඩයන් ගෝමස්, උපසභාපතිවරු – මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස්, ඕබ්‍රී පීරිස්, ලේකම් – ස්කොඩ්රන් ලීඩර් මොහොමඩ් ෂෆ්රාස්, භාණ්ඩාගාරික – ස්කොඩ්රන් ලීඩර් ප්‍රසාද් විජේසිංහ, උපලේකම් – කමාන්ඩර් සංජීව කස්තුරිආරච්චි, උප භාණ්ඩාගාරික – යහන් සමරජීව

Rate this item
(0 votes)