April 25, 2024

ශ්‍රී ලංකාවට කඩුලු 9ක සුපිරි ජයක්

ස්කොට්ලන්තයට එරෙහිව එංගලන්තයේ බෙකන්හැම්හිදී ඊයේ පැවැති දෙවැනි නිල නොවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 9 ක පහසු ජයක් අතර ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා පිතිකරුවෝ ඕවර 22.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

මුලු ලකුණු සංඛ්‍යව 56 ක් වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල බිඳවැටුණ අතර දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනැගූ උපුල් තරංග (නොදැවී 53) සහ කුසල් මෙන්ඩිස් (නොදැවී 74) ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 63 කදී වාර්තා වූ උපුල් තරංගගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් වූ අතර පන්දු 51 කදී වාර්තා වූ කුසල් මෙන්ඩිස්ගේ වේගවත් ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 10 කින් සමන්විත විය.

පන්දු 23 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 29 ක් ලබා සිටි ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල දැවී ගියේ ඇලෙස්ටෙයාර් එවන්ස්ගේ පන්දුවක් හමුවේ මාක් වොට් අතට උඩපන්දුවක් දෙමිනි.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක උපුල් තරංගගේ ආරාධනයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායමට ඕවර 42.1 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 166 ක් පමණි. ස්කොට්ලන්ත කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූ සී. ඩී. වොලන්ස් පන්දු 60 කදී ලකුණු 46 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගිනි.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ ලක්ෂාන් සඳකැන් ලකුණු 29 කට කඩුලු 4 ක් බිඳ දමමින් ස්කොට්ලන්ත ඉනිම සුණුවිසුනු කර දැමූවේය. නුවන් කුලසේකර සහ සීක්කුගේ ප්‍රසන්න කඩුලු 2 බැගින් දවාගනිමින් ස්කොට්ලන්ත කණ්ඩායම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීම සඳහා සඳකැන්ට අනගි සහායක් දුන්හ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නිත්‍ය නායක ඇන්ජලෝ මැතිව්ස් මෙම තරගයට ක්‍රීඩා නොකළ අතර උපුල් තරංග එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීය.

ශ්‍රී ලංකාව – ඕවර 22.5 කදී කඩුල්ලක් දැවී 170
(නිරෝෂන් දික්වැල්ල 29, උපුල් තරංග නොදැවී 53, කුසල් මෙන්ඩිස් නොදැවී 74)
ස්කොට්ලන්තය – ඕවර 42.1 කදී සියලු දෙනා දැවී 166
(මැතිව් ක්‍රොස් 27, ආර්. ඩී. බෙරින්ටන් 15, සී. ඩී. වොලන්ස් 46, ඇලෙස්ටෙයාර් එවන්ස් 22, ලක්ෂාන් සඳකැන් 29/4, නුවන් කුලසේකර 23/2, සීක්කුගේ ප්‍රසන්න 28/2)

Rate this item
(1 Vote)