April 23, 2024

ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පරදවයි

ෆාෂීල් මරීජා සැළසුම් සහගතව සම්පූර්ණ කළ උත්සාහක දිනුමෙන් ලැබූ ලකුණු පරතරය නිසා මැලේසියාවේ ඉපෝහිදී පැවැත්වෙන ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ ශ්‍රී ලංකා පිල ඊයේ ඉපෝ මහ නගර සභා ක්‍රීඩාංගණයේදී සහභාගි වූ දෙවැනි තරගයේදී ලකුණු 33-17 කින් එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල පරාජය කරමින් ජයග්‍රහණය කිරීමට සමත්විය. 

ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමඟ සහභාගි වූ තරග දෙකම ජය ලබා අපරාජිතව සිටියි. මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සම්පූර්ණ කරමින් අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකර ගත්හ.

ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතමයා වන ෆාසිල් මරීජා, අරාබි ක්‍රීඩකයන්ට නොදැනෙන ලෙස සැළසුම්කම් කරමින් දෙවැනි අර්ධයේ 7 වැනි මිනිත්තුවේදී මීටර 40 ක පමණ සිට පන්දුව ලබා ගෙන ගෝල කණු යටට ගෙනවිත් උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමේ අවස්ථාව ලී කීගල්ට දුන්නේය. තිළිණ විජේසිංහ එයට අතිරේක ලකුණු දෙක මුසු කිරීමත් සමඟ ලකුණු පුවරුව 25-17 ක් බවට පත්වෙමින් ලකුණු පරතරය 8 ක් වී එක්සත් අරාබි පිලේ හද ගැස්ම වැඩි කළේය.

ජේසන් දිසානායක දෙවැනි අර්ධයේ 28 වැනි මිනිත්තුව දක්වා නිශ්ශබ්දව සිටිමින් සම්පූර්ණ කළ අනගි උත්සාහක දිනුමෙන් ලකුණු පුවරුව 30-17 ක් බවට පත්වීමෙන් ජයග්‍රහණය තහවුරු වූවා බඳු විය. තිළිණ විජේසිංහට 39 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහරින් පන්දුව ගෝල කණු අතරින් ගමන් කිරීමත් සමඟ අවසන් ලකුණු පුවරුව ලකුණු 33-17 ක් බවට පත්විය.

ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දැඩි හිරු රෂ්මිය යටතේ පැවැති පළමු අර්ධය අවසන් වන විට ලකුණු 18-17 ක් ලෙස ලකුණකින් ඉදිරියෙන් සිටියහ. පළමු අර්ධයේ අවසන් වීමට ඔන්න මෙන්ව තිබියදී ඇන්ඩෘ පවෙල් සම්පූර්ණ කළ උත්සාහක දිනුම ඇන්ඩෘ ස්ටීවන්සන් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු 17-18 ක් ලෙස අරාබි පිල හිස එසවීය.

එක්සත් අරාබි පිලට පළමු අර්ධයේ 30 වැනි මිනිත්තුවේ සිට 35 වැනි මිනිත්තුව දක්වා කාලයේදී ලැබුණු දඬුවම් පහර 3 ක් අසාර්ථක වීම ශ්‍රී ලංකාවට අස්වැසිල්ලක් විය.

සෙන්ටර් ක්‍රීඩක, ශ්‍රී ලංකා සත් සාමාජික පිලේ නායක ධනුෂ්ක රංජන් 20 වැනි මිනිත්තුවේදී එක්සත් අරාබි ක්‍රීඩකයන් අන්දමන්ද කරමින් මීටර 35 ක් පමණ දිවයමින් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට තිළිණ විජේසිංහ අතිරේක ලකුණු දෙක එකතු කිරීමත් සමඟ ලකුණු 15-10 ක් ලෙස ශ්‍රී ලංකාව නැවතත් පෙරමුණ ගත්තේය.

ධනුෂ්ක රංජන් උත්සාහක දිනුම සම්පූර්ණ කිරීමත් සමග අබාධයකට ලක්ව පිටියෙන් ඉවත්වීම දැඩි පාඩුවක් බවට පත්වූ අතර එතැන් සිට නිෂෝන් පෙරේරා, සෙන්ටර් ක්‍රීඩකයා ලෙස ද, ජේසන් දිසානායක වින්ත්‍රී ක්‍රීඩකයා ලෙස ද, ක්‍රීඩා කළහ. අතිරේක ක්‍රීඩක ජෝයි පෙරේරා, ෆ්ලෑන්කර් ක්‍රීඩකයා ලෙස ආදේශ විය.

එක්සත් අරාබි අංක 8 ක්‍රීඩක ග්ලින් මොරී 17 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම් ඇන්ඩෘ ස්ටීවන්සන් ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු 10-8 ලෙස ශ්‍රී ලංකාව පසු පසට තල්ලු විය.

තිළිණ විජේසිංහ ප්‍රේක්‍ෂකයන් පුදුමයට පත්කරමින් 6 වැනි මිනිත්තුවේදී මිටර 30 ක් පමණ දුර සිට දකුණ පසට වෙන්නට ලැබුණු දඬුවම් පහර සාර්ථක කරමින් ශ්‍රී ලංකාව ලකුණු 8-0 ක් ලෙස ඉදිරියට ගත්තේය.

එක්සත් අරාබි පිලට 4 වැනි මිනිත්තුවේදී ලැබුණු දඬුවම් පහර ෆ්ලයි හාෆ් ක්‍රිඩක ඇන්ඩෘ ස්ටීවන්සන් සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව 5-3 ක් විය.

විනිසුරුගේ පළමු නළා හඩින් එක්සත් අරාබි පිල පළමු පා පහර ගැසුව ද තත්පර 50 ක් ගතවීමට පෙර ක්‍රියාත්මක වූ ෆුල්බැක් ක්‍රිඩක තිළිණ විජේසිංහ මීටර 25 කදී පමණ ලබාදුන් පන්දුව ෆ්ලයි හාෆ් ක්‍රීඩක ෆාෂීල් මරීජා වම් පස කොඩි කණුව අසළින් තැබීමත් සමඟ ශ්‍රී ලංකාවට ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමේ ගෞරවය හිමිවිය.

පළමු තරගයේ වීරයා වූ තිළිණ විජේසිංහ වෙතින් ගෝල ප්‍රවර්ථන ගිලිහී යෑමෙන් ලකුණු පුවරුව 5-0 ක් ලෙස දිස්විය.

මෙහිදී ශ්‍රී ලංකාව ගෝල 2 කින්, උත්සාහක 2 කින් සහ දඬුවම් පහර 3 කින් ලකුණු රැස් කළේය. එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල ගෝල 2 කින්, සහ දඩුවම් පහකින් ලකුණු ලැබීය.

එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිලේ ක්‍රීඩකයන් වැඩි පිරිසක් සුදු ජාතික දැවැන්ත ක්‍රීඩකයන් වූ අතර කළු ජාතික ක්‍රීඩකයන් කීප දෙනකු ද දැකගත හැකිවිය. ශ්‍රී ලංකා පිල පළමු තරගයේදී ලකුණු 24-13 කින් පිලිපීනය පරාජය කළේය.

තරගාවලියේ සිවුවැනි තරගය ලෙස ඊයේ පස්වරුවේ පැවැති තරගයේදී සත්කාර මැලේසියාව ලකුණු 40-8 කින් පිලිපීනය පරාජය කිරීමට සමත් විය.

Rate this item
(0 votes)