April 20, 2024

පන්ජාබ් පිලට විශිෂ්ඨ ජයක්

10 වැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල්. තරගාවලියේ මුම්බායිහිදී පැවැති 51 වන තරගයේදී මුම්බායි ඉන්දියන්ස් පිලට එරෙහිව ලකුණු 7 ක ජයක් හිමිකර ගැනීමට කිංග්ස් XI පන්ජාබ් පිල ඊයේ(11) සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 231 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 6 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 223 ක් පමණි. මෝහිත් ශර්මා යැවූ අවසන් ඕවරයේදී ජයග්‍රහණය සදහා මුම්බායි ඉන්දියන්ස් පිලට ලකුණු 16 ක් ලබාගැනීමට තිබූ අතර කරන් පොලාඞ්ට පන්දු තුනකදී ලකුණු ලබාගැනීමට නොහැකිවීම හේතුවෙන් පරාජය වැළඳ ගැනීමට ඔවුන්ට සිදුවූහ.

වේගවත් පිතිහරඹයක නිරතවූ ආරම්භක පිතිකරුවන්වූ ලැන්ඞ්ල් සිමන්ස් සහ පාර්තිව් පතෙල් පළමු කඩුල්ල සදහා පන්දු 52 කදී ලකුණු 99 ක සම්බන්ධතාවයක් පවත්වමින් ලකුණු 231 ක ඉලක්කයක් හඹායෑම සදහා අඩිතාලම දමා දුන්හ. ලැන්ඞ්ල් සිමන්ස් පන්දු 32 කදී හයේ පහර හතරක් සහ හතරේ පහර පහක සමගින් ලකුණු 59 ක් රැස්කළ අතර කරන් පොලාඞ් හයේ පහර පහක් සහ හතරේ පහරක් සමගින් පන්දු 24 කදී නොදැවී ලකුණු 50 ක් රැස්කිරීමට සමත්විය.

හර්දික් පාන්ඩ්‍යයා සමගින් එක්ව පස්වැනි කඩුල්ල සදහා පන්දු 21 කදී ලකුණු 55 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ කරන් පොලාඞ් හයවැනි කඩුල්ල සදහා කාන් ශර්මා සමගින් පන්දු 10 කදී ලකුණු 31 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්විය.

පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පංජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 230 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් පිලට දැවැන්ත ඉලක්කයක් ලබාදීමට සමත්විය. විශිෂ්ට පිතිහරඹයක නිරතවූ විර්ද්‍රීමාන් සාහා ඉනිම ආරම්භයේ සිට අවසානය තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 55 කදී නොදැවී ලකුණු 93 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීමට සමත්විය. හයේ පහර තුනකින් සහ හතරේ පහර 11 කින් විර්ද්‍රීමාන් සාහාගේ ඉනිම අලංකාර විය.

මාටින් ගප්ටිල් සමගින් එක්ව පළමු කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 68 ක සම්බන්ධතාවයක්ද, ග්ලෙන් මැක්ස්වෙල් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පනදු 33 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක්ද, ශෝන් මාෂ් සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 26 කදී ලකුණු 52 ක සම්බන්ධතාවයක් පැවැත්වූ විර්ද්‍රීමාන් සාහා සිවුවැනි කඩුල්ල සදහා ඇක්සා පටෙල් සමගින් එක්ව පන්දු 28 කදී ලකුණු 47 ක නොබිඳුණු සම්බන්ධතාවයක් පැවැත්වීමටද සමත්විය.

කිංග්ස් XI පංජාබ් – ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 230(මාටින් ගප්ටිල් 36, විර්ද්‍රීමාන් සාහා නොදැවී 93, ග්ලෙන් මැක්ස්වෙල් 47, ශෝන් මාෂ් 25)

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 223(ලැන්ඞ්ල් සිමන්ස් 59, පාර්තිව් පතෙල් 38, කරන් පොලාඞ් නොදැවී 50, හර්දික් පාන්ඩ්‍යයා 30, මෝහිත් ශර්මා 57/2)

Rate this item
(1 Vote)