April 25, 2024

මුම්බායි පරදා හයිද්‍රාබාද් ජයගනී

දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගය ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට එරෙහිව හයිද්‍රාබාද්හිදී ඊයේ පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් අත්කර ගැනීමට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 139 ක ඉලක්කයක් හඹාගිය හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 18.2 ක් අවසානයේ කඩුලු 3 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර පන්දු 46 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කළ ශිකර් ධවාන් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේය.

හයිද්‍රාබාද් ඉනිමේ පළමු කඩුල්ල ලෙස නායක ඬේවිඞ් වෝනර් ලකුණු 6 කට දැවීයෑමෙන් පසු දෙවැනි කඩුල්ල වෙනුවෙන් මොයිසස් හෙන්රිකස් (44) සමග එක්ව පන්දු 66 කදී ලකුණ 91 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ධවාන් සමත් විය. පන්දු 35 කදී වාර්තා වූ හෙන්රිකස්ගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත විය.

මිචෙල් මැක්ලෙනගන්, ලසිත් මාලිංග සහ ජස්ප්‍රීත් බුම්රා කඩුල්ල බැගින් දවාගත්තද, ධවාන්ගේ ඉනිම නිමා කිරීමට ඔවුන් කිසිවෙකුටත් නොහැකි විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 138 ක් ලබාගත් අතර මුම්බායි ඉනිමේ කොඳු නාරටිය බවට පත්වූ රෝහිත් ශර්මා සෙසු ක්‍රීඩකයන් අසාර්ථක වෙද්දී, නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය.

පන්දු 45 කදී වේගවත් අර්ධ ශතකයක් ලබාගත් රෝහිත් ශර්මා (67) එය හයේ පහර 2 කින් සහ හතරේ පහර 6 කින් අලංකාර කළේය. මුම්බායි ඉනිමේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 49 කදී ලකුණු 60 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද සමත් විය.

දක්ෂ පන්දුයැවීමක නිරත වූ සිද්ධාර්ත් කෞල් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගනිමින් මුම්බායි පිතිකරුවන් මෙල්ල කළ අතර ඒ සඳහා කෞල්ට අනගි සහායක් දුන් බුවනේෂ්වර් කුමාර් ලකුණු 29 කට කඩුලු 2 ක් දවාගත්තේය.

මුම්බායි ඉන්දියන්ස් පිල – ඕවර 20 කදී කඩුලු 7 කට 138

(පාර්තිව් පටේල් 23, රෝහිත් ශර්මා 67, හර්දික් පාණ්ඩ්‍යා 15, සිද්ධාර්ත් කෞල් 24/3, බුවනේෂ්වර් කුමාර් 29/2)

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 18.2 කදී කඩුලු 3 කට 140

(ශිකර් ධවාන් නොදැවී 62, මොයිසස් හෙන්රිකස් 44, විජය ශංකර් නොදැවී 15)

Rate this item
(0 votes)