April 19, 2024

කොල්කටා පරදා පූනේ ජයගනී

IPL තරගාවලියේ 41 වන තරගය ලෙස කොල්කටා හිදී ඊයේ පැවැති තරගයේදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලට එරෙහිව කඩුලු 4 ක ජයක් හිමිකර ගැනීමට රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 156 ක ඉලක්කයක් හඹාගිය රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිල ඕවර 19.2 කදී කඩුලු 6 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

විශිෂ්ට පිතිහරඹයක නිරතවූ රාහුල් ත්‍රිපාති වේගවත් ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 52 කදි හයේ පහර හතක් සහ හතරේ පහර නවයක් සමගින් ලකුණු 93 ක් රැස්කිරීමට සමත්විය. ස්ටිවන් ස්මිත් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සදහා පන්දු 20 කදී ලකුණු 48 කට සම්බන්ධතාවයක් ගොඩනැගීමටද රාහුල් ත්‍රිපාති සමත් වූයේය. දක්ෂ පන්දු යැවීමක නිරතවූ ක්‍රිස් වෝක්ස් ඕවර හතරක් යවමින් ලකුණු 18 කට කඩුලු තුනක් දවාගත්තද රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ ජයග්‍රහණය වැලැක්විමට නොහැකිවිය.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 155 ක් රැස්කිරීමට සමත්විය.

පිතිකරුවන්හට සාර්ථක පිතිහරඹයක නිරතවීමට පූනේ සුපර්ජයන්ට්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන් අතර මනීෂ් පාන්ඬේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 32 කදී ලකුණු 37 ක් රැස්කළේය. පස්වැනි කඩුල්ල සදහා පන්දු 30 කදි ලකුණු 48 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට මනීෂ් පාන්ඬේ සහ කොලින් ඩිග්‍රැන්ඩොම් සමත්වූහ.

කොලින් ඩි’ග්‍රැන්ඩොම් පන්දු 19 කට මුහුණ දෙමින් හයේ පහර දෙකක් සහ හතරේ පහර තුනක් සමගින් ලකුණු 36 ක් ලබාගත් අතර සූර්ය්‍යකුමාර් යාදව් පන්දු 16 කදී නොදැවී ලකුණු 30 ක් ලබාගනිමින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල ලකුණු 150 න් ඔබ්බට රැගෙන යාමට සමත්විය. සූර්ය්‍යකුමාර් යාදව්ගේ ඉනිම හයේ පහර දෙකකින් සහ හතරේ පහර දෙකකින් අලංකාර විය.

කාසියේ වාසිය දිනූ රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් පිලේ නායක ස්ටීවන් ස්මිත් පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 155

(ගෞතම් ගාම්බීර් 24, මනීෂ් පාන්ඬේ 37, කොලින් ඩි’ග්‍රැන්ඩොම් 36, සූර්ය්‍යකුමාර් යාදව් නොදැවී 30, වොෂින්ටන් සුන්දර්18/2, ජෙයිදේව් උනද්කට් 28/2)

රයිසින් පූනේ සුපර්ජයන්ට්ස් – ඕවර 19.2 කදී කඩුලු 6 ක් දැවී ලකුණු 158

(රාහුල් ත්‍රිපාති 93, ක්‍රිස් වෝක්ස් 18/3)

Rate this item
(0 votes)