April 20, 2024

දිල්ලියට කඩුලු 6 ක ජයක් 

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම අතර දිල්ලිහිදී ඊයේ පැවැති තරගයෙන් කඩුලු 6 ක ජයක් අත්කර ගැනීමට දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායම සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 186 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් ක්‍රීඩකයෝ කඩුලු 4 ක් පමණක් දැවී පන්දු 5 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසුකර ගියහ.මොයිසස් හෙන්රිකස් යැවූ අවසන් ඕවරයේ පළමු පන්දුවට හතරේ පහරක් ගැසූ කෝරි ඇන්ඩසන් දිල්ලි කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය.

වේගවත් පිතිහරඹයක නිතර වූ ඇන්ඩසන් පන්දු 24 කදී නොදැවී ලකුණු 41 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක්ද සමගිනි.නායක කරුන් නායර් ලකුණු 39 ක්ද, රිෂාබ් පාන්ට් ලකුණු 34 ක්ද, ශ්‍රෙයාස් අයියර් 33 ක්ද රැස්කරමින් දිල්ලි කාණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන යෑම සඳහා ඇන්ඩසන්ට මනා සහයක් දුන්හ.

පන්දු 20 කදී වාර්තා වූ නායර්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර පන්දු 20 කදී වාර්තා වූ පාන්ට්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 185 ක් ලබාගත් අතර කලකට පසු ලකුණු අතරට පැමිණි යුවරාජ් සිං, වේගවත් පිතිහරඹයක නිරත වෙමින් නොදැවී ලකුණු 70 ක් රැස්කළේය.

පන්දු 41 කදී වාර්තාවූ ඔහුගේ අර්ධ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් සමන්විත විය.මොයිසස් හෙන්රිකස් (25) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා පන්දු 48 කදී ලකුණු 93 ක් නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් හයිද්‍රාබාද් කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමටද යුවරාජ් සමත් විය.නායක ඬේවිඞ් වෝනර් (30) සහ ශිකර් ධවාන් (28) එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 32 කදී ලකුණු 53 ක සම්බන්ධතාවක් ගොඩනමින් හයිද්‍රාබාද් කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ.

පන්දු 21 කදී වාර්තා වූ වෝනර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ 4 ක් ඇතුළත් වූ අතර පන්දු 17 කදී වාර්තා වූ ධවාන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 4 ක් ඇතුළත් විය.කාසියේ වාසිය දිනූ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් කණ්ඩායමේ නායක කරුන් නායර් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමට ආරාධනා කර සිටියේය.

 

සන්රයිසස් හයිද්‍රාබාද් පිල – ඕවර 20 කදී කඩුලු 3 කට 185

(ඬේවිඞ් වෝනර් 30, ශිකර් ධවාන් 28, කේන් විලියම්ස් 24, යුවරාජ් සිං නොදැවී 70, මොයිසස් හෙන්රිකස් නොදැවී 25, මොහොමඞ් සාමි 36/2)

දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල – ඕවර 19.1 කදී කඩුලු 4 කට 189

(සංජු සැම්සන් 24, කරුන් නායර් 39, රිෂාබ් පාන්ට් 34, ශ්‍රෙයාස් අයියර් 33, කෝරි ඇන්ඩසන් නොදැවී 44, ක්‍රිස් මොරිස් නොදැවී 15, මොහොමඞ් සිරාජ් 41/2)

Rate this item
(0 votes)