March 29, 2024

අයි.පී.එල්. වාර්තාවක් තබමින් කොල්කටා නයිට් රයිඩර්ස් ජයගනී

විශිෂ්ට පන්දු යැවීම හමුවේ දහවැනි වරටත් පැවැත්වෙන අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා හිදී පැවැති 27 වන තරගයේදී රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව ලකුණු 82 ක ජයක් හිමිකර ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඊයේ සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 132 ක ඉලක්කයක් හඹාගිය රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට ඕවර 9.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 49 ක් පමණි. රෝයල් චැලේන්ජර්ස් පිල අයි.පී.එල්. ඉතිහාසයේ රැස්කළ අඩුම ලකුණු සංඛ්‍යාව අද වාර්තා කළ අතර දෙපිලේ කඩුලු විස්සම දැවී ගිය දෙවැනි අවස්ථාව ලෙස අද තරගය වාර්තා පොත් අතරට එක්විය.

නේතන් කූල්ටර්නයිල් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඕවරයේ තෙවැනි පන්දුවෙන් විරාත් කෝලී දවාගනිමින් ඇරඹු කඩුලු දඩයම හේතුවෙන් පරාජය වන්නට තිබූ තරගයක් ජයග්‍රහණය භුක්ති විදිමින් නිමා කරන්නට සමත්විය.

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ කිසිදු පිතිකරුවකුට ලකුණු 10 සීමාව පසුකිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

කොලින් ඩිග්‍රැන්ඩොම් ලකුණු හතරකට කඩුලු 3 ක්ද ක්‍රිස් වෝක්ස් ලකුණු හයකට කඩුලු 3 ක් සහ නේතන් කූල්ටර්නයිල් ලකුණු 21 කට කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමුව පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට ඕවර 19.3 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 131 ක් පමණි. ඕවර 3.5 කදී කොල්කටා නයිට් රයිඩර්ස් පිලේ ලකුණු 50 වාර්තාවූ අතර මෙවර තරගාවලියේදී කණ්ඩායමක් ලැබූ වේගවත් ලකුණු 50 වාර්තාව සමකිරීමට සමත්විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ සුනිල් නරේන් පන්දු 17 කදී ලකුණු 34 ක් ලැබූ අතර ඔහුගේ දැවීයාමෙන් අනතුරුව කිසිදු පිතිකරුවකුට ලකුණු අතරට පැමිණිමට රෝයල් චැලේන්ජර්ස් පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ. සුනිල් නරේන්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර හයක් ඇතුළත්විය.

විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ යුස්වේන්ද්‍ර චහල් ඕවර 4 ක් යවමින් ලකුණු 16 කට කඩුලු 3 ක් දවාගත් අතර පවන් නෙගී ලකුණු 15 කට කඩුලු 2 ක් සහ ටයිමල් මිල්ස් ලකුණු 31 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

කාසියේ වාසිය ලැබූ රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලේ නායක විරාට් කෝලී පළමුව පන්දු රැකීමට තීරණය කළේය.

සකීබ් අල් හසන් වෙනුවට කොලින් ඩිග්‍රැන්ඩොම් කොල්කටා නයිට් රයිඩර්ස් පිලට කැඳවූ අතර ට්‍රැවිස් හෙඞ්, ඇඩම් මිල්නේ සහ ශේන් වොට්සන් වෙනුවට සැමුවෙල් බද්‍රී, ඒ.බී. ඩිවිලියර්ස් සහ ටයිමල් මිල්ස් රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් පිලට කැඳවූහ.

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 19.3 කදී සියලුදෙනා දැවී ලකුණු 131

(සුනිල් නරේන් 34, යුස්වේන්ද්‍ර චහල් 16/3, පවන් නෙගී 15/2, ටයිමල් මිල්ස් 31/2) 

කොල්කටා නයිට් රයිඩර්ස් – ඕවර 9.4 කදී සියලුදෙනා දැවී ලකුණු 49

(කොලින් ඩි’ග්‍රැන්ඩොම් 04/3, ක්‍රිස් වෝක්ස් 06/3, නේතන් කූල්ටර්නයිල් 21/3)

Rate this item
(0 votes)