April 20, 2024

පන්ජාබයට නොසිතු පරාජයක්

අයි.පී.එල් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි අදියරේ 22 වන තරගය ලෙස ඉන්දෝර්හිදී පැවැති තරගයෙන් කිංග්ස් XI පන්ජාබ් පිලට එරෙහිව කඩුලු 8ක ජයක් හිමිකර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් පිල සමත්විය.

ජයග්‍රහණය සදහා ලකුණු 199 ක ඉලක්කයක් හඹාගිය මුම්බායි ඉන්දියන්ස් පිල ඕවර 15.3 කදී කඩුලු 2 ක් දැවී එම ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය. ආරම්භක පිතිකරුවන්වූ පාර්තිව් පටෙල් (37) සහ ජොස් බට්ලර් පළමු කඩුල්ල සදහා පන්දු 35 කදී පැවැත්වූ ලකුණු 81 ක සම්බන්ධතාව මුම්බායි ඉන්දියන්ස් පිලේ ජයග්‍රහණයට හේතුවිය.

වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 37 කදී හයේ පහර පහක් සහ හතරේ පහර හතක් සමගින් ලකුණු 77 ක් රැස්කළ ජොස් බට්ලර් දෙවැනි කඩුල්ල සදහා නිතිෂ් රානා සමගින් එක්ව පන්දු 44 කදී ලකුණු 85 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත් වූයේය.නිතිෂ් රානා පන්දු 34 කට මුහුණදෙමින් හයේ පහර හතක් සමගින් නොදැවී ලකුණු 62 ක් රැස්කරමින් මුම්බායි ඉන්දියන්ස් පිල ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

මුම්බායි ඉන්දියන්ස් පිතිකරුවන් හමුවේ දැඩි පහරදීමකට ලක්වූ ඉශාන්ත් ශර්මා යැවූ ඕවර 4 තුළදී ලකුණු 58 ක් උදුරාගැනීමට ඔවුන් සමත්වූහ. හසීම් අම්ලාගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් XI පන්ජාබ් පිල ඕවර 20 අවසානයේදී කඩුලු 4 ක් දැවී ලකුණු 198 ක් රැස්කළේය.

විස්සයි20 පළමු ශතකය පන්දු 58 කදී වාර්තා කිරීමට හසීම් අම්ලා සමත්වූ අතර ඉනිම අවසානයේදී පන්දු 60 කට මුහුණදෙමින් හයේ පහර හයක් සහ හතරේ පහර අටක් සමගින් නොදැවි ලකුණු 104 ක් රැස්කිරීමට සමත්විය.

හසීම් අම්ලා සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 33 කදී ලකුණු 63 ක සම්බන්ධතාවයක් පැවැත්වූ ග්ලේන් මැක්ස්වෙල් පන්දු 18 කදී හතරේ පහර හතරක් සහ හයේ පහර තුනක් සමගින් ලකුණු 40 ක් රැස් කළේය.

දැඩි ප්‍රහාරයකට ලක්වු ලසිත් මාලිංග ඕවර 4 ක් යවමින් ලකුණු 58 ක් ලබාදුන් අතර කඩුල්ලක් දවාගැනීමට අවස්ථාවක් හිමි නොවීය. මාලිංග ලබාදුන් ලකුණු 58 න් ලකුණු 51 ක් හිමිකර ගැනීමට හසීම් අම්ලා සමත්විය. කාසියේ වාසිය ලැබූ මුම්බායි ඉන්දියන්ස් පිලේ නායක රෝහිත් ශර්මා පළමුව පන්දු යැවීමට තීරණය කළේය.

කිංග්ස් XI පන්ජාබ් – ඕවර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 198

(හසීම් අම්ලා නොදැවී 104, ෂෝන් මාෂ් 26, ග්ලේන් මැක්ස්වෙල් 40, මිචෙල් මැක්ලෙනගන් 46/2)

මුම්බායි ඉන්දියන්ස් – ඕවර 15.3 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 199

(පාර්තිව් පටෙල් 37, ජොස් බට්ලර් 77, නිතිෂ් රානා නොදැවී 62)

Rate this item
(0 votes)