April 25, 2024

ඩයන් ගෝමස් යළි මුල් පුටුවට

ජාත්‍යන්තර බොක්සිං වළල්ල ජයගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් බිහිකළ මෙරට බොක්සිං ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ මෑත කාලයේ සිදුවී ඇති දරුණු පසුබෑම යළි පිළිසකර කොට දස්කම් සපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉහළට ඔසවා තැබීමේ අරමුණ ඇතැතිව හිටපු සභාපති ඩයන් ගෝමස් මහතා නැවත බොක්සිං සංගමයේ මුල්පුටුවට පත්වීමට නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව ලබන මස 9 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ නිලවරණයේදී ඩයන් ගෝමස් මහතා එහි සභාපති තනතුරට නිතරගයෙන් පත්වීමේ ඉඩකඩක් නිර්මාණය වී ඇති අතර ඔහුගේ පත්වීමෙන් දැනට බිඳ වැටී ඇති මෙරට බොක්සිං ක්‍රීඩාව නැවත ජයග්‍රාහී මාවතට පිවිසෙනු ඇතැයි බොක්සිං ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ විශ්වාසය පළ කරති.

මේ වනවිට එහි උපසභාපති සහ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කරන ඩයන් ගෝමස් මහතා මීට පෙර 2006 වසරේ සිට එවකට ආධුනික බොක්සිං සංගමයේ සභාපතිවරයා ලෙස ඉමහත් කාර්ය භාරයක් ඉටු කරමින් දේශීය බොක්සිං ක්‍රීඩාව ජාත්‍යන්තරට ඔසවා තැබීමට සමත්වූ බැවින් ඔහු නැවත එම තනතුරට පත්වීම වත්මන් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ දස්කම් ඔප් නංවා ගැනීමටත්, ශ්‍රී ලංකාවට බොක්සිං ක්‍රීඩාවෙන් ජාත්‍යන්තර කීර්තියක් නැවත අත්පත් කරගැනීමටත් ලැබෙනු ඇතැයි බොක්සිං ක්‍රීඩාවේ ප්‍රවීණයෝ පවසති.

ඩයන් ගෝමස් මහතාගෙන් පසුව මෑත කාලයේ බොක්සිං සංගමයේ මුල්පුටුවට පත්වූ සභාපතිවරුන් ඇතුළු සෙසු නිලධාරීන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ විවේචන රැසක් එල්ලවී තිබූ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ උන්නතිය වෙනුවෙන් සහ මෙරට බොක්සිං ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔවුන් දැක්වූ උදාසීනත්වය මතභේදයට තුඩු දුන්නේය.

ජාතික බොක්සිං පුහුණුකරු ලෙස කටයුතු කළ කියුබානු ජාතික පුහුණුකරු වසර 2015 දී නික්ම යාමෙන් පසුව ජාතික බොක්සිං සංචිතය බිඳ වැටුණු බවත්, මේ වනවිට එවැනි සංචිතයක් ක්‍රියාත්මක නොවීමෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවකට පත්වී ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි. මීට වසර කිහිපයකට පෙර වාර්ෂිකව ජාත්‍යන්තර බොක්සිං තරගාවලි ගණනාවක් නියෝජනය කිරීමේ අවස්ථාව මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට උදාවී තිබුණත් පසුගිය වසර වනවිට එය එක් ජාත්‍යන්තර තරගයක් දක්වා පහළට වැටුණු බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.

මීට අමතරව ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි සංවිධානය කිරීමේදී ද බොක්සිං සංගමයේ නිලධාරීන් දැක්වූ උදාසීනත්වය හේතුවෙන් පසුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ජාතික මට්ටමේ බොක්සිං තරගාවලි 4ක්ම අත්හැර දැමීමට සිදුවී තිබූ බව ද වාර්තා වෙයි.

මෙවර නිලවරණයේදී නිතරගයෙන් සභාපති ධුරයට පත්වනු ඇතැයි සැලකෙන ඩයන් ගෝමස් මහතාගේ මැදිහත්වීමෙන් දැනටමත් මෙරට ක්‍රීඩකයන්ට මේ මස 30 වැනිදා උස්බෙකිස්තානයේ පැවැත්වීමට නියමිත ආරාධිත බොක්සිං තරගාවලියකට (ASIAN ELITE CHAMPIONSHIP) සහභාගිවීමේ අවස්ථාව උදාවී ඇති අතර ඒ සඳහා ක්‍රීඩකයන් 10 දෙනකු මේ වනවිටත් පුහුණුව ලබමින් සිටිති. 

එමෙන්ම ජූලි මාසයේ බහමාස් හී පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීමට දැනට සංචිත ගතකොට ඇති යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවුදෙනකුට හංගේරියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ආරාධිත බොක්සිං තරගාවලියකට සහභාගිවීමේ අවස්ථාව ද ඔහුගේ මැදිහත්වීමෙන් ලැබී තිබේ. ශ්‍රී ලංකා සංචිතයට එම තරගාවලියට පෙර සතියක පුහුණුවක් හංගේරියාවේ ලබාදීමට ද ඩයන් ගෝමස් මහතා කටයුතු යොදා ඇතැයි ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Rate this item
(0 votes)