April 24, 2024

මේ තරඟයේදී අපේ අතින් ගොඩක් වැරදි උනා - රංගන හේරත් (VIDEO)

පන්දුවට පහර දීමේදී සහ පන්දු රැකීමේදී සිය කණ්ඩායම අතින් සිදු වූ වැරදි පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් පවසයි.

ඔහු ඒ බව කියා සිටියේ ඊයේ (19) බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සමග පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාව ලද පරාජය පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ඉදිරියේදී ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කණ්ඩායමක් වශයෙන් මහන්සි වී පුහුණුවීම්වල යෙදිය යුතු බවත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක රංගන හේරත් වැඩිදුරටත් සඳහන් කළේය.

මේ අතර ටෙස්ට් තරගයක කාසියේ වාසිය දිනා ගැනීම ජයග්‍රහණය සඳහා බලපාන ප්‍රධාන සාධකයක් බව කී ක්‍රිකට් ක්‍රීඩා වාර්තාකරු දමින්ද විජේසූරිය කාසියේ වාසිය දිනා ගනු ලැබුවත් පළමු ඉනිම තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට රැස් කරගත හැකි වූයේ ලකුණු 338 ක් පමණක් බවය.

"ඒත් බංග්ලාදේශ කණ්ඩායම පසු පස හඹා ඇවිත් අපේ ලකුණු සංඛ්‍යාව පසු කර ගෙන ගිහින් ලකුණු 129 ක මුල් ඉනිමේ වාසියක් ලබා ගත්තා. ඒ වාසිය තමයි බංග්ලාදේශ කණ්ඩායමේ තරග දිනීමට පසුබිම වුනේ" යනුවෙන් ඔහු  අදහස් දැක්වීය.

පසුගිය කාලය දෙස බැලීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල තත්වයක පවතින බව පෙනී යන බව පෙන්වා දුන් ඔහු " ඒ පිළිබඳ කාටවත් දොස් කියන්න බැහැ. ඒකෙ වගකීම ක්‍රීඩකයන් අර ගන්න ඕන. මොකද තමන්ට පුද්ගලිකව උනන්දුවක් තිබෙනවා නම් ඕනෑම ක්‍රීඩකයෙකුට හොඳ පන්දු රකින්නෙක් වෙන්න පුළුවන්" යනුවෙන් වැඩිදුරටත් සඳහන් කළේය.

 
Rate this item
(0 votes)
Last modified on Monday, 20 March 2017 14:24