April 19, 2024

ක්‍රීඩා පනත වෙනස් කරන්න ඔලිම්පික් කමිටුවේ කැමැත්ත

1973 අංක 25 දරණ ක්‍රීඩා පනත හා රෙගුලාසි පිළිබඳ ජාතික ඔලිම්පික් කමිටුව ඉදිරිපත් කළ සංශෝධන සඳහා ජාතික ක්‍රීඩා සංගම්වල එකඟතාවය මාස 1 1/2 ක් තුළ සකස් කර අවසන් කිරීමට එකඟ වී තිබේ.

ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු ජාතික ක්‍රීඩා සංගම්වල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (10) ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවති විශේෂ සාකච්ඡාවේ දී එම එකඟතාවයට පැමිණ ඇත. 

ජාතික ඔලිම්පික් කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය ස්විට්සර්ලන්තයේ ලුසෑන්වල හමු වී ඇති කරගත් එකඟතාවයට අනුව වසරක් තුළ ක්‍රීඩා පනතට සංශෝධන ගෙන ඒම සඳහා දෙපාර්ශ්වයේ යෝජනා පිළිබඳ සාකච්ඡා කළ ද අදාළ යෝජනාවල මතවාදාත්මක කරුණු සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණීම සඳහා ජාතික ක්‍රීඩා සංගම්වල ද අදහස් සැළකිල්ලට ගැනීම ඉතා වැදගත්වන බැවින් දෙපාර්ශ්වය එකඟ වී ඇති කරුණු හා මතවාදයට තුඩු දී ඇති කරුණු වෙන වෙන ම ගෙන විසඳුමකට පැමිණීම සඳහා සාකච්ඡා කර ඇත.

එම යෝජනා සම්බන්ධ ජාතික ක්‍රීඩා සංගම්වල පූර්ණ එකඟතාවය ලබා ගැනීම සඳහා මාස 1 1/2 ක් ලබාදීමට ඊයේ පැවැති විශේෂ සාකච්ඡාවේ දී සියළු පාර්ශ්ව එකඟ විය.

එම සංශෝධන යෝජනා අතර ක්‍රීඩා පනතේ section k-2-c 18(1) 19, 20, 21, 30, 33, 34(1), 39 (1) යන වගන්ති පිළිබඳ පාර්ශ්වයන්ගේ එකඟතාවයක් ලබා ගැනීමට නියමිත බවත් සමස්ත යෝජනාවලින් 80%කට දෙපාර්ශ්වයේම එකඟතාවය මේ වනවිට ලැබී ඇති බවත් වාර්තා වේ.

එම සාකච්ඡාවට ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති හේමසිරි ප්‍රනාන්දු, ලේකම් මැක්ස්වෙල් ද සිල්වා ඇතුළු ඔලිම්පික් ක්‍රීඩාව නියෝජනය කරන ක්‍රීඩා සංගම් 25ක ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

එසේ ම ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික්‍රම, නීතීඥ පණ්ඩුක කීර්තිනන්ද යන මහත්වරුන් ද එම සාකච්ඡාවට එක්වූහ.

Rate this item
(0 votes)