April 25, 2024

ජාතික මැරතන් ශුරිය පැමිණියේ උඩුපුස්‌සැල්ලාව ලැයිමකින්

තල්වැටේ උණුසුමත්, මුහුදු සුළඟේ සිසිලත් අවිවේකී තරගකරුවන්ට තම ජයග්‍රහණය උදෙසා යම් පිටිවහලක්‌ විය. වසර 32 කට පසුව ජාතික ක්‍රීඩා උළෙලක්‌ සඳහා පවත්වනු ලැබූ තරග කිහිපයෙන් ත්‍රිකුණාමලයේ පැවතියේ යුද්ධයේ කටුක අත්දැකීම් සියල්ල අතීතයට උරුම කර දෙමිනි.ශ්‍රී ලංකාවේ ඉතිහාසයට ක්‍රීඩා ජාතිවාදයක්‌ නැති බව පෙන්වමින් 40 වැනි ජාතික ක්‍රීඩා උළෙලේ කාන්තා මැරතන් තරගයේදී නගරයේ ක්‍රීඩිකාවන්ට අභියෝගයක්‌ කළ නුවරඑළිය උඩපුස්‌සැල්ලාවෙන් බිහිවූ වේලායුදන් ක්‍රිෂාන්තනී (27) ජාතික මැරතන් ශූරිය බවට පත් වූවාය.

පාසල් මට්‌ටමේ දක්‍ෂතා දක්‌වන අහිංසක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වේලායුදන් ක්‍රිෂාන්තනී වැනි අයට සිදුවන අසාධාරණය කනගාටුවට හේතුවකි. ලෝකයේ ක්‍රීඩාව නිසාම ප්‍රසිද්ධ වූ රටවල් රැසක්‌ ඇත. ඒ අතර අපට අමතක කළ නොහැකි ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් බිහි වූ යුග දක්‌නට ලැබුණි. ඒ අතීතයට තවත් අනාගත ශ්‍රී ලංකා පදක්‌කම් බලාපොරොත්තුවක්‌ වන, වේලායුදන් ක්‍රිෂාන්තනී සමග කතා කිරීමට අපට අවස්‌ථාවක්‌ ලැබුණි. ඇයගේ ජීවිතය ගැන කටුක අමිහිරි දේවල් බොහෝය. ඇය ජීවත්වන නුවරඑළියේ වතු ලැයිමේ ජීවිකාව තුළින් අනාගතය ජය ගැනීමට උත්සාහ දැරූ ආකාරය ඉතාමත් දුක ගෙන දෙන්නකි.වී. ක්‍රිෂාන්තනි, නුවරඑළිය ලයින් කාමරයක ඉපදුණු පවුලේ බඩපිස්‌සීය. "දුව සෙල්ලම් කරන්න හරි දක්‍ෂයි. සාමාන්‍ය පෙළ දක්‌වාම ඉගැන්නුවා. මම වත්තේ තේ කඩලා තමයි දරුවන් 05 දෙනාව ජීවත් කළේ. මගේ මහත්තය වැටිලා එකතැන අවුරුදු 23 ක්‌ හිටිය " ක්‍රිෂාන්තනිගේ මව වන එස්‌. ධනලක්‌ෂ්මි අප සමග පැවසුවාය.

"දුව ක්‍රීඩා තරගයෙන් ජය ගැනීම ගැන දැනගත්තාම මට හරි සංතෝෂයි. අපි ඉන්නේ තවමත් ලැයිමේ. මට දුව ගැන හරි දුකයි. තේ දලු කඩලා එළවළු එකතු කරලා තමයි හැමදාම පාසල් ගියේ. දුව ක්‍රීඩා කරන්න යන විට හරියට කෑමක්‌ දෙන්න මට බැරි වුණා. අපි කිහිප දෙනකුගෙන් දුවට සපත්තු අරන් දෙන්න සල්ලි ඉල්ලුවා. දුව දුවන සපත්තු කුට්‌ටමක්‌ (ස්‌පයිස්‌) ගන්න මට සල්ලි තිබුණේ නැහැ".

වී. ක්‍රිෂාන්තනීගේ කතාව ඉතාමත් දුක්‌බරය. සමාජ අසමතුලිතතාවයෙන් දුක්‌ විඳින ක්‍රිෂාන්තනීලා වැනි අයට අත හිත දෙන්න තරම් මානුෂික වූ අයද සිටියහ. ඇය පාසල් යන කාලයේදී ක්‍රීඩාව පුහුණු කළ නෝබට්‌ පෙරේරා ගුරුතුමාව අදටත් ඇය මතක්‌ කරයි. රාගල ෂේන් ලෙනාඩ් විදුහලේ අධ්‍යාපනය ලැබූ වී. ක්‍රිෂාන්තනී පුංචි කාලයේ සිටම ක්‍රීඩාවට දක්‍ෂතා දක්‌වා ඇත. ඇය කුඩා කාලයේදීම රිය අනතුරකට ලක්‌වූ ඇගේ පියා දශක දෙකක්‌ පුරා ඔත්පල වී එක්‌තැන්ව ජීවත්ව ඇත. ඇය මව සමග ජීවිත අරගලයේ යෙදෙමින් ක්‍රීඩා කරමින් මෙම හපන්කම දැක්‌වීම විශේෂත්වයකි.ඇය නාවුක හමුදාවට නොයන්න මෙවැනි ජාතික ජයග්‍රහණයක්‌ ලබා නොගන්නා බව පවසයි. නාවික හමුදාපති වසන්ත කොළඹගේ මහතා නිතර සිහිපත් කරන ඇය ඇයගේ පුහුණුකරු ජයන්ත දිසානායක මහතාගේ පුහුණුව නොවන්න මෙසේ ජයගැනීමක්‌ සිතිය නොහැකි බව පවසයි.

"මම ෂේන් ලෙනාඩ් පාසලේ ඉගෙන ගන්න කාලේ මට ගොඩක්‌ ආස හිතුණා ජාතික පාසලට යන්න. මට ස්‌පයිස්‌ දෙකක්‌ නැති නිසාත් වියදම් කරන්න කට්‌ටිය නැති නිසාත් එසේ යැමට හැකි වුණේ නැහැ.මාව නේවි එකට ගෙනගියේ නුවර රංජිත් අයියා. නාවුක හමුදාව මට පුහුණුව හරියට දුන්නා. ඉන්න තැනක්‌ දුන්නා. ක්‍රීඩාවලට වියදම් කළා. මම නාවික හමුදාවට ණයගැතියි.ශ්‍රී ලංකාවේ ජීවත්වන කාටත් එක සමානව සමගියෙන් ජීවත් වෙන්න පුළුවන් කියා මම මේ තරගයේදී දැක්‌කා. සිංහල, දමිළ, මුස්‌ලිම් ජනතාව ජයඝෝෂා කරමින් සහයෝගය දුන්නා. මම ආවෙ මගේ රටට හොඳ පදක්‌කම් ගෙනල්ලා රට ලෝකයේ බබළවන්නයි".

රටවල් කෑලි කෑලිවලට බෙදා වෙන් කරන්න කැස කවන දේශීය විදේශීය ත්‍රස්‌තවාදීන්ට උඩගෙඩි දෙන අයට 2014 ජාතික ක්‍රීඩා උළෙලේදී වී. ක්‍රිෂාන්තනී කදිම පාඩමක්‌ දී ඇත. මේ රටේ සිංහල හෝ දෙමළ හෝ මුස්‌ලිම් හෝ වේවා දක්‍ෂතාව ඇත්නම් නිසි තැන ලැබෙන බවයි. ඒ බැවින් ක්‍රීඩා බලධාරීන් පිබිදෙන මල් කැකුළු ආරක්‍ෂා කරගැනීම යුතුකමකි. විවිධ කැපිලි කෙටිලිවලින් තොරව ජාතික තලයේ පුහුණුකරුවන් යොදාගෙන ගම්වල සිටින මෙවැනි දක්‍ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාතික තලයට ගෙන ආයුතු කාලය එළඹ ඇත.නිලධාරීන්ගේ සුඛවිරණය සඳහා විශාල මුදල් කන්දරාවක්‌ වැය කරන බලධාරීන් වී. ක්‍රිෂාන්තනීලා වැනි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැක ගැනීමේ කාලය එළඹ ඇත. 

(සමන් මල්ලවආරච්චි) 

Rate this item
(1 Vote)