March 29, 2024

මැති ඇමැති වැටුපත් කොස්ලන්දට දෙමුද?    

November 01, 2014

කොස්‌ලන්ද, මීරියබැද්ද වත්තේ නායයැමේ සිද්ධියෙන් අවතැන් වූ අසරණ ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ වැටුප පරිත්‍යාග කරමින් ජනතාවට ආදර්ශයක්‌ ලබාදිය යුතු බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී, විපක්ෂ සංවිධායක ජෝන් අමරතුංග මහතා පවසයි.

හෙතෙම මේ බව පැවසූවේ ඊයේ (31) පාර්ලිමේන්තුවේදී නායයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විශේෂ ප්‍රකාශයක්‌ කළ පසුවයි.

“අද මේ අවස්‌ථාවේදී විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාත් විපතට පත් ප්‍රදේශයට ගිහින් ඉන්නවා. මේ අහිංසක ජනතාව වෙනුවෙන් ඇමැතිවරුන්ගේ පඩියවත් නොදෙන්නේ ඇයි. අපිත් ලෑස්‌තියි දෙන්න. අපි ජනතාවට ආදර්ශයක්‌ ලබාදීම පාර්ලිමේන්තුවෙන්ම පටන් ගනිමු. රුපියල් ලක්‍ෂ ගණන් දෙන්න ඕනෙ නෑ. කීයක්‌ හරි දිය හැකියි. අපිටත් පුළුවන් ඔබතුමාලාගේ උත්සාහයට උදව් කරන්න. මේ සිද්ධියෙන් දේශපාලන වාසිගන්න අපේ කිසිම අදහසක්‌ නෑ. අපි ආදර්ශයක්‌ දෙනවා.“ යැයි මන්ත්‍රීවරයා පැවසී ය.

එහිදී ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසූවේ “තනිකරම රජය මේ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙනවා. ජනතාවගේ මුදල් අවශ්‍ය නෑ. අපේ පඩිය දෙන්න විරුද්ධත්වයක්‌ නෑ. ඔබතුමා යෝජනා කරනවා නම් ඒ සඳහා ක්‍රියාත්මක වෙන්න. අපේ සහාය දෙන්නම්.“ කියයා.

Rate this item
(0 votes)
Last modified on Monday, 03 November 2014 12:37