April 19, 2024

කරළියෙන් එහා: අධිවේගී විවාදය නිසා කිරිඇල්ලගේ දුව කලබල වෙයි - ගල උඩ සටනට වෙල්ගම ලෑස්තියි

පළාත් පාලන මැතිවරණය නැවත වතාවක් කල්දැමීමට ආණ්ඩුවේ සූදානමක් පවතින බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කිරීමත් සමග මේ සතියේ දේශපාලන කරළියෙන් එහා උණුසුම් විය. මේ නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලූ කටයුතු සූදානම් වෙමින් පවතින අවස්ථාවේ නැවතත් මැතිවරණය කල්දැමීමක් ගැන වටින් ගොඩින් සංවාදයට ලක්වෙමින් තිබේ. මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විෂයභාර ඇමතිවරයා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු පක්ෂ නියෝජිතයින් පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැත්වුණේ පසුගිය 17 පස්වරුවේය. මනෝ ගනේෂන් ඇමතිවරයා ඇතුළු කිහිපදෙනෙකුගේ ඉල්ලීම අනුව නුවරඑළිය අඹගමුව ප‍්‍රාදේශීය සභාව කොටස් කිහිපයකට වෙන් කිරීමේ වුවමනාව මුල් කරගෙන මෙම ගැටලූව නිර්මාණය වී තිබේ. කෙසේ වෙතත් ජවිපෙ නියෝජනය කරමින් සභාගි වූ පක්ෂ නායක අනුර දිසානායක කියා සිටියේ ”අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ ගැටලූව විසඳන්න ඕනෑ. ඒ ගැන අපිට විරෝධයක් නැහැ. නමුත් ඒක පදනම් කරගෙන මැතිවරණය කල් දාන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ ගැටලූව විසඳන්න කල් යනවානම් එම ප‍්‍රාදේශීය සභාව පසුවට තබා මැතිවරණය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ තමයි අපි ඉන්නේ” යනුවෙනි.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව පක්ෂ නායකවරයා මේ බව පක්ෂයේ ලේකම්වරයා, ප‍්‍රචාරක ලේකම්වරයා ඇතුළු නායකයින් දැනුවත් කිරීමට කටයුතු කළේය. ”ශ‍්‍රීලනිපයට දිගටම වුවමනාව තිබුණා ඡන්දය කල්දාන්න. දැන් අයෙත් ප‍්‍රශ්නයක් අල්ලගෙන.” විජිත හේරත් කියා සිටියේය. ”සුසිල්ලා ජෝන්ලා කණ්ඩායමක් මහින්ද මෛත‍්‍රී කණ්ඩායම් එකතු කරන්න වැඩසටහනක් ආරම්භ කරලලූ. ඒ නිසා තව ටික කාලයක් ඡන්දය පස්සට දාගන්න උපක‍්‍රමයක් හොයමින් ඉන්න බව ආරංචියි. නුවරඑළිය අඹගමුව ප‍්‍රාදේශීය සභාවේ ප‍්‍රශ්නය ඇමතිට විසඳන්න පුළුවන්. ඇමති ගැසට් එක ගහන්නේ නැතුව ඇඟ බේරගන්න ඒ ප‍්‍රශ්නේ කැබිනට් එකට දාලා.” අනුර දිසානායක කියා සිටියේය. ”ජනාධිපතිවරයාටත් මේ වෙලාවේ පක්ෂය කැඩෙන එක විශාල පාඩුවක්. මොකද ඡන්දෙදි එයාගෙ ගොඩ පේන්න ගන්නවා. ඒ නිසා ඡන්දය කල්දාන්න හදනවා. මේකට අපි ඉඩ දිය යුතු නැහැ.” ටිල්වින් සිල්වා කියා සිටියේය.

අධිවේගී විවාදය නිසා කිරිඇල්ලගේ දුව කලබල වෙලා

ජනතා විමුක්ති පෙරමුණේ මන්ත‍්‍රී කණ්ඩායම විසින් පාර්ලිමේන්තුවේ අධිවේගී මාර්ග ව්‍යාපෘති සම්බන්ධයෙන් විශේෂ විවාදයක් ඉල්ලා තිබුණි. එම විවාදය ඔක්තෝබර් 19වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණි. මේ ප‍්‍රවෘත්තියත් සමඟ විවිධ මට්ටමේ පිරිස් අධිවේගී මාර්ග පිළිබඳව තොරතුරු ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට ලබාදීමට කටයුතු කළහ. මේ අතර ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිවරයාගේ ලේකම්වරියක වන ඔහුගේ දියණිය මේ විවාදය නිසා කලබලයට පත්ව සිටි බව ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට දැනගන්නට ලැබුණි. පසුගිය දීපවාලි උත්සව දිනයේ රජයේ නිවාඩු දිනයක් වුවද කිරිඇල්ල ඇමතිවරයාගේ දියණිය අමාත්‍යංශ නිලධාරීන්ට නිවාඩු ලබාදී නොතිබුණ බව දැනගන්නට ලැබී තිබේ. ඇය එදින නිලධාරීන්ට බැනවදිමින් අවශ්‍ය ලියකියවිලි සකස් කර ගැනීමට විශාල වෙහෙසක් දරා තිබේ. මේ අතර මධ්‍යම අධිවේගී මාර්ගයෙන් පීඩාවට පත් ජනතා එකමුතුව විසින් විවාදය පැවැත්වෙන දිනයේ මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි. මධ්‍යම අධිවේගයෙන් පීඩාවට පත්වෙන ගම්පහ, කෑගල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත‍්‍රික්කවල ජනතාව එක්ව මෙම සංවිධානය පිහිටුවාගෙන තිබේ. ”මධ්‍යම අධිවේගී ව්‍යාපෘතියෙන් කෝටි ගණන් ගසා කනවා. කොම්පැනිවලින් කොමිස් ගන්නවා. නමුත් ජනතාවට කිසිම සහනයක් දෙන්න ඇමතිවරයා කටයුතු කරන්නේ නැහැ” ජනතාවගෙන් විශාල විරෝධයක් ඇමතිවරයාට එරෙහිව එල්ල වී තිබේ.

ව්‍යවස්ථා අතුරු වාර්තාව ගැන රටේ තියෙන්නේ වැරදි මතයක්

ගම්පහ දිරිය පුවැසි දිස්ත‍්‍රික් සමුළුව පසුගිය පහළොස්වැනිදා ගම්පහ නයිවලදී පැවැත්වුණේ අනුර දිසානායක, විජිත හේරත් ඇතුළු ජවිපෙ නායකයින්ගේ සහ හිටපු අමාත්‍යංශ ලේකම් අශෝක පීරිස්, ක‍්‍රීඩා ශූර සුගත් තිලකරත්න ඇතුළු විශේෂ ආරාධිතයින්ගේ සහභාගිත්වයෙනි. මෙහිදී ව්‍යවස්ථා කෙටුම්පත ගැන මතුවී තිබෙන සාකච්ඡාව පිළිබඳව ජවිපෙ ප‍්‍රචාරක ලේකම්වරයා සහ අශෝක පීරිස් අතර කතාබහක් ඇතිවිය. මේ කතාබහට සුගත් තිලකරත්නද එක්විය. ”මන්ත‍්‍රීතුමා ව්‍යවස්ථා කෙටුම්පත ගැන රටේ තියෙන්නේ වැරදි මතයක් කියලයි මට හිතෙන්නේ. ජවිපෙට මේ ගැන මොකුත් කරන්න බැරිද?” අශෝක පීරිස් විමසා සිටියේය. ”ඒක ඇත්ත. වැරදි මතයක් හදලා තියෙනවා. බංකොළොත් කණ්ඩායම් තමන්ට දේශපාලන මාතෘකා නැති නිසා ව්‍යවස්ථා බිල්ලෙක් මවනවා. මේක ව්‍යවස්ථාවක් තියා කෙටුම්පතක්වත් නෙවෙයි. සාකච්ඡාවල කරුණු එකතුවක් විතරයි. මේක ව්‍යවස්ථාව කියලා අරගෙන බංකොළොත් අය රට බෙදනවා.. ඒකීයභාවය ඉවරයි කියලා කෑ ගහනවා.” විජිත හේරත් කියා සිටියේය. ”ජවිපෙ ගැනත් වැරදි මතයක් තමයි හදලා තියෙන්නේ” සුගත් තිලකරත්න කියා සිටියේය. ”රාජපක්ෂලාගේ කණ්ඩායමට ජවිපෙට ගහන්න මාතෘකාවක් නැහැ. ඒ නිසා මඩ ගහනවා. අපි කරුණු 09ක් ව්‍යවස්ථා මණ්ඩලයට දුන්නා. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම අපේ පළවෙනි කොන්දේසිය. පළාත් එකතු කරන්න බැහැ කියන එක තව එකක්. අපි එදත් රට කඩන යෝජනා පරාජය කළා. 2005 නොවැ. මහින්ද ජනාධිපති වෙලා උතුර නැගෙනහිර එක කරලා තිබුණ ගැසට් එක දීර්ඝ කළා. අපි තමයි 2006 නඩු කියලා පළාත් දෙක වෙන් කළේ. එහෙම කට්ටිය අද බොරුවට කෑගහනවා. අපි ස්ථාවරය පැහැදිලියි රට බෙදන ව්‍යවස්ථා එපා.. ඒ වගේම විධායක ජනාධිපති ධුරය අහෝසි කළ යුතුමයි. ඉස්සරහට අපි මේ ගැන රටේ සංවාදයක් හදනවා” විජිත හේරත් කියා සිටියේය.

අවලාදවලට එරෙහිව නඩු

පසුගිය දිනෙක ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මන්ත‍්‍රීවරයා විසින් ජවිපෙ නායකයාට අභූත චෝදනාවක් එල්ල කළේය. කෝටි ප‍්‍රකෝටි ගණනක මුදල් තොගයක් පොහොර ගෝනිවල දමාගෙන ගිය බව එයින් කියවුණි. මෙම ප‍්‍රකාශය ප‍්‍රවෘත්තිවල ප‍්‍රචාරය වීමත් සමඟ නීතිඥයින් මෙන්ම ජවිපෙ හිතවාදීන් ජවිපෙ මන්ත‍්‍රීවරුන්ට කියා සිටියේ, මෙම ප‍්‍රකාශයට එරෙහිව නීතිමය කි‍්‍රයාමාර්ග ගත යුතු බවයි. මේ පිළිබඳව විජිත හේරත්, සුනිල් වටගල හා ලාල්කාන්ත යන අය අතර කතාබහට ලක්වූයේ ගත හැකි නීතිමය කි‍්‍රයාමාර්ග පිළිබඳවයි. ”නඩු දාන්න නිමිත්තක් තියෙනවා. අපහාස නඩු කියන්නේ විශේෂ නඩු වර්ගයක්. අපි කීර්තිනාමයට හානි කලා කියලා වන්දියක් ඉල්ලමු. ඊට අමතරව අපිට මේකෙන් වාසියක් තියෙනවා. චරිතය ගැනනේ නඩුව යන්නේ. හරස් ප‍්‍රශ්න අහනකොට අපිට පුළුවන් ජොන්ස්ටන්ගේ හොරකම් ගැන ප‍්‍රශ්න කරන්න.” වටගල කියා සිටියේය. ”ඔව්, ජොන්ස්ටන්ට එරෙහිව එෆ්සීඅයිඞීයේ පැමිණිලි ගණනාවක් තියෙනවා. මේවා ආණ්ඩුවක් කල් දදා තියෙන නිසා මේ වගේ නඩුවකදී අපිට ජනතාවට දැනගන්නත් එක්ක සියලූ දේවල් එළියට අදින්න පුළුවන්.” විජිත හේරත් කියා සිටියේය. ”මේ රාජපක්ෂ කල්ලියට අපිත් එක්ක ලොකු වෛරයක් තියෙනවා. අපිට කියන්න වෙන කිසිම චෝදනාවක් නැහැ. ඒක නිසා ආණ්ඩුවත් එක්ක ඞීල් කියන්න එක එක කතා හදනවා. මේකට එරෙහිව ලොකු ප‍්‍රහාරයක් දෙන්න ඕනෑ. අපිට මඩ ගහන්න ආපු ගොඩක් අය වැඬේ අනාගත්තා” ලාල්කාන්ත කියා සිටියේය.

ශ්‍රීලනිපය ඇතුළේ හොර රහසේ කඹ ඇදිල්ලක්

පසුගිය 6 වැනිදා සිදු කෙරුණු විරෝධතාවක දී නාමල් ඇතුළු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කිහිපදෙනකු ද සමඟ 40ක පිරිසක් අත්අඩංගුවට ගනු ලැබ තිබුණි. මේ සතියේ සඳුදා (16) නාමල් සමඟ තවත් 7 දෙනකුට පමණක් ඇප ලැබිණි. ඇප ලැබීමෙන් පසුව පිටතට පැමිණි නාමල් ආණ්ඩුවට පහර ගැසීමට එම අවස්ථාව යොදා ගත්තේය. තමන්ගේ කටවල් වහලා මේ රටේ රාජ්‍ය දේපොළ විකුණන්න පුළුවන් වේවි යැයි කවදාවත් හිතන්න එපා යැයි ඔහු ප‍්‍රකාශ කළේය.
‘‘අහිංසක මිනිස්සු සිරගත කරලා, අප හිරේ දමලා අපේ කටවල් වහන්න බෑ. එහෙම හිතනවා නම් ඒක මේ ආණ්ඩුවට වැරදිලා. ආණ්ඩුව මොනවා කළත් අපි අපේ සටන අත්ඇරලා නැහැ’’ යැයි නාමල් පැවසුවේය. හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපොළ ඇතුළු ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීමට තමන් මේ සටන දියත් කළ බව ද ඔහු කීවේය.

නාමල්ලා ඇප ලබා උසාවියෙන් පිටතට පැමිණි අවස්ථාවට ඔහුගේ ආධාරකරුවෝ විශාල සංඛ්‍යාවක් පැමිණ සිටියහ. ඔහු බන්ධනාගාර ගත කරන විට මහින්ද රාජපක්ෂ මහතා සිටියේ ජපානයේය. ඔහු රටට පැමිණි පසුව නාමල් බැලීමට බන්ධනාගාරයට ද ගියේ ශිරන්ති රාජපක්ෂ ද ඇතුළු කණ්ඩායමක් සමඟිනි. නාමල්ට ඇප ලැබුණු අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහතා එතැනට නොගිය අතර මාධ්‍යයෙන් උපරිම ආවරණයක් ලබාගැනීමට ඒ නිසා නාමල්ට එහිදී අවස්ථාව ලැබුණේය.

මේ අතර ශ‍්‍රීලනිපයේ සංවිධායකයන් ඉවත් කිරීම ද පක්ෂ තුළ යළිත් අර්බුදයක් ඇති කරමින් තිබේ. පසුගිය කාලය පුරා වරින් වර සංවිධායකවරුන් ගණනාවක් ඉවත් කරනු ලැබූ අතර පසුගිය සතියේ කුමාර වෙල්ගම සහ මහින්දානන්ද අලූත්ගමගේ ඉවත් කිරීම ශ‍්‍රීලනිපය තුළ කැළඹීමක් ඇති කළ සිද්ධියක් විය. මේ දෙදෙනා සිය සංවිධායක ධුරවලින් ඉවත් කිරීමේ තීරණයට තමන් එකඟ නොවන බව ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති කම්කරු හා වෘත්තීය සබඳතා ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා කළ ප‍්‍රකාශය හේතුවෙන් එම කැළඹීමේ තරම දැනගත හැකි විය. ‘‘මෙවැනි ශක්තිමත් ප‍්‍රබල පුද්ගලයන් සංවිධායක ධුරවලින් ඉවත් කිරීම ඥානවන්ත ක‍්‍රියාවක් නොවේ. එයින් පක්ෂයේ ඉදිරි ගමනට දැඩි බලපෑමක් සිදුවෙනවා. සංවිධායක ධුරවලින් ඉවත් කිරීමට පෙර ඔවුන් සමඟ සාකච්ඡා කිරීමට තිබුණා. යම් යම් පුද්ගලයන්ගේ ඕනෑ එපාකම් ගැන තීන්දු තීරණ ගැනීම ඥානාන්විත ක‍්‍රියාවක් නොවේ’’යැයි ඔහු ප‍්‍රකාශ කර තිබිණි. ඉදිරියේ දී මේ ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ද ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයා කියා තිබුණ ද එවැනි සාකච්ඡාවක් සිදුකෙරුණු බවක් තවම දැනගන්නට නැත.

ඔහු යම් යම් පුද්ගලයන් වශයෙන් හැඳින්වූයේ කවුදැයි පැහැදිලි නැති වුවද සමාජ සවිබල ගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ ඇමැති එස්.බී. දිසානායක මහතා ඊට පසුව ප‍්‍රකාශ කර තිබුණේ ජනප‍්‍රිය යැයි සිතා සිටි සමහර දේශපාලනඥයන් දැන් ජනතාවට එපා වී ඇති බවත් ඔවුන් වෙනුවට අලූත් අය පත් කිරීමෙන් ශ‍්‍රීලනිපය ජයග‍්‍රහණය කරා ගෙන යා හැකි බවත්ය. හිටපු ජ්‍යෙෂ්ඨයන් අයින් කර අලූත් අයට දුන්නාම ශ‍්‍රීලනිපයට අවාසි යැයි සමහරුන් තර්ක කළ ද අලූත් අය දැමූ විට පක්ෂයට වාසිදායක වනු ඇතැයි ද ඔහු සඳහන් කර තිබිණි. මෙය එස්.බී. ඇමැතිවරයාගේ අදහස ද පක්ෂයේ වෙනත් බලවතුන්ගේ අදහස ද යන්න පැහැදිලි නැත. එහෙත් පක්ෂය තුළ හොර රහසේ සිදුකෙරෙන කඹ ඇදිල්ල දැන් එළිපිටම සිදුකෙරෙන තරමට වැඩ සිදුවෙමින් තිබෙන බව මේ කතාබහ වලින් පැහැදිලි වෙයි. සංවිධායක පදවිය අහිමි කරනු ලැබූ කුමාර වෙල්ගම මන්ත‍්‍රීවරයා පසුගියදා ප‍්‍රකාශ කර තිබුණේ තමන් ශ‍්‍රීලනිපයේ නියම අයිතිකාරයන් බවය. දැන් පක්ෂයේ ඉන්නේ පැරෂුට්කාරයන් බවට ඔහු චෝදනාවක් ද එල්ල කර තිබිණි.

ගල උඩ සටන ගැන වෙල්ගම කියයි

ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ලේ සංවිධායකවරයා වශයෙන් ක‍්‍රියා කරන වෙල්ගම මහතා එහිදී පැවැති රැස්වීමක් තමන්ගේ සංවිධායක ධුරය සම්බන්ධයෙන් කතා කිරීමට යොදාගෙන තිබුණේය. ‘ශ‍්‍රීලනිපයේ සංවිධායකවරයෙක් හැටියට එකදිගට අවුරුදු 35 ක් වැඩ කළ මාව අයින් කළා. අනුර බණ්ඩාරනායක එදා මැතිනිය දාලා ගියා. චන්ද්‍රිකා නෝනා දාලා ගියා. අපි කවදාවත් ශ‍්‍රීලනිපය දාලා ගියේ නෑ. අපි හැමදාම හිටියේ පක්ෂය එක්ක යැයි’’ ද ඔහු එහි දී කීවේය.
වෙල්ගම මහතා ඉදිරියේ දී පැමිණීමට නියමිත ඡන්දය හැඳින්වූයේ ගල උඩ සටනක් වශයෙනි. ඡන්දය පවත්වන බව ආණ්ඩුව ප‍්‍රකාශ කළත් ෆයිසර් මුස්තාපා ඇමැතිවරයා ගැසට් එක දමා අනුමත කිරීමෙන් පසුව පමණක් ඡන්දය පැවැත්වීමට ඉඩ සැලසෙන නිසා ඒ ගැන අවධානයෙන් සිට මොන ක‍්‍රමයකින් හෝ මේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා බලා සිටින රටේ සියලූ දෙනාට අවස්ථාව දිය යුතු බව ද ඔහු කීය.

‘‘අපි වෙනම තරග කරනවා කියන එක දැන් කවුරුත් දන්න දෙයක්. අපි ශ‍්‍රීලනිපය සමඟ එකතු වෙලා තරග කරනවා කීම සම්පූර්ණ බොරුවක්. ඒකාබද්ධ විපක්ෂය වශයෙන් මේ සැරේ වෙනම තරග කරන්න අපි තීරණය කරලා තියෙනවා. මේ මැතිවරණයට අපි කියන්නේ ගල උඩ සටන කියලයි. ආණ්ඩුව මේකෙන් පැරදුණොත් ආණ්ඩුවත් ඉවරයි. අපි පැරදුණොත් අපිත් ඉවරයි. ඒ නිසා හැමෝම බලාගෙන ඉන්නවා මහින්ද රාජපක්ෂ මහත්තයා නම් කරන පක්ෂයට කතිරෙ ගහන්න’’ යැයි ද ඔහු කීය. එහිදී වෙල්ගම මහතාපක්ෂයේ ලේකම්වරු දෙදෙනාට සියුම් පහරක් එල්ල කරමින් ඔවුන් දේශපාලන අඳබාලයන් හැටියට හැඳින්විය.

දැනට ටික කාලයකට පෙර කරළියේ කතාබහට ලක්ව තිබුණේ වෙල්ගම සහ මහින්දානන්ද මන්ත‍්‍රීවරුන් දෙදෙනාම නිහඬ චරිතවලට පණපොවා සිටින බවටය. මේ දෙදෙනා ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රීපාල පාර්ශ්වය සමඟ යටින් සමීප සබඳතා පවත්වන බවට ද රාවයක් පැතිර තිබූ අතර යළිත් පක්ෂයේ වැඩට සම්බන්ධ වන්නේ නම් විවිධ තනතුරු සහ වරප‍්‍රසාද යෝජනා වී තිබූ බව ද සඳහන් විය. එහි ඇත්ත නැත්ත කුමක් වුවද දැන් පැහැදිලිව පෙනෙන්නේ මන්ත‍්‍රීවරුන් දෙදෙනාම සටන් මඟට අවතීර්ණව සිටින බවය.

අගමැති - සම්පන්දන් සිටි උත්සවයේදී ජනපති කතා නොකර යයි

කෙසේ වුවද රනිල් වික‍්‍රමසිංහ අග‍්‍රාමාත්‍යවරයා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අරලියගහ මන්දිරයේ පැවැති ජාතික දීපවාලි උත්සවය යොදා ගත්තේය. ලබන වසර වන විට ශ‍්‍රී ලංකාවට සංහිඳියාව සහ සාර්ථකත්වයට ගමන් කිරීමට හැකිවනු ඇති බවට ඔහු එහිදී විශ්වාසය පළ කළේය.

‘රාජ්‍යයේ ස්වභාවය, රට නොබෙදා උපරිම බලය බෙදීමකට ගමන් කිරීම, මූලික අයිතිවාසිකම්, සංස්කෘතික, ආගමික යනාදී කටයුතුවල දේශපාලන පදනම යන සියලූ කරුණු සම්බන්ධයෙන් වන සාකච්ඡා ලබන වසර වන විට අවසන් කිරීමට හැකි වේවි. ලබන වසරේ දී නිදහස ලබා වසර 70 සපිරෙනවා. ඒ නිසා ලබන වසර වෙද්දී අපට සංහිඳියාව සාර්ථකත්වයට ගමන් කරන්නට හැකියාව ලැබේවි’ යැයි ද රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

මෙම උත්සවයට සහභාගි වූ විපක්ෂ නායක ආර්. සම්පන්දන් මහතා ද නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අදහස් දැක්වීය. ‘‘අපට ඕනෑ නව ව්‍යවස්ථාව මගින් නොබෙදුණු - ඒකීය ලංකාව තුළ සියලූ ජනතාවට සම අයිතිවාසිකම් සහිතව ජීවත් වීමට ඉඩ සැලැස්වීමයි. ශ‍්‍රී ලාංකික පුරවැසියන් කියන එක අපට ආඩම්බරයක් වෙනවා. බෞද්ධ, ක‍්‍රිස්තියානි, ඉස්ලාම් යන සියලූම ජනතාව එක්සත්ව ජීවත් වීමට අදාළ වාතාවරණය රට තුළ ස්ථාපිත වුණොත් අපේ රට ඉදිරියට ගෙන යන්න පුළුවන්. ලෝකයේ උදාරතම රටක් බවට අපේ රට පත් විය යුතුයි’’ යැයි ද සම්පන්දන් මහතා සඳහන් කර තිබිණි. කෙසේ වුවද මෙම උත්සවයේ දී ජනාධිපතිවරයා කිසිදු අදහසක් ප‍්‍රකාශ නොකිරීම විශේෂත්වයක් විය. එසේ වුවද ජනාධිපතිවරයා අගමැති සහ සම්පන්දන් මහතා සමඟ සුහදව කතාබස් කරනු දැකිය හැකි විය. නව ව්‍යවස්ථා කෙටුම්පත සම්බන්ධයෙන් ශ‍්‍රීලනිපයේ මැති ඇමැතිවරුන් හැකි තරම් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම ද කැපීපෙනෙන කරුණකි. ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් ව්‍යවස්ථාවට හැකි වෙර යොදා පහර දුන්නත් ආණ්ඩුවේ ශ‍්‍රීලනිප ඇමැතිවරුන් කියන්නේ රට බෙදන, බුදු දහමට ප‍්‍රමුඛත්වය නොදෙන, ෆෙඩරල් ව්‍යවස්ථාවකට තමන් එකඟ නොවන බවය. ඔවුන් රැවුලයි කැඳයි දෙකම බේරාගන්නා ප‍්‍රතිපත්තියක පිහිටා කටයුතු කරන බව පෙනෙන්නට තිබේ.

මරණ තර්ජන නිසා අනිකා රට හැර යයි

බැඳුම්කර කොමිසමේ සාක්ෂි විභාගය අවසානයේ දී හෙළි වූ බරපතළ කරුණු ගණනාවකි. රවි කරුණානායක මහතාගේ පදිංචියට ලබාදුන් බව කියන ‘‘මොනෑක්’’ නිවාස සංකීර්ණයේ නිවෙසේ හිමිකාරිය වූ අනීකා විජේසූරියට එල්ල වූ තර්ජන හේතුවෙන් ඇය ජීවිත ආරක්ෂාව පතා විදේශ රටකට ගොස් ඇතැයි කොමිසමට දැනුම් දුන්නේ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාය.

අනීකාගේ වැඩිමල් සොහොයුරු විජිත විජේසූරිය මහතාට ද රවි කරුණානායක මහතාගේ බෑණා කෙනකු බව කියන ශනිල් නෙත්තිකුමාර නැමැත්තා දුරකතනයෙන් මරණ තර්ජන එල්ල කොට ඇති බව ද කොමිසමට දැනුම් දෙනු ලැබීය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බව කොමිසම ප‍්‍රකාශ කළේය.

මේ වසරේ පෙබරවාරි 21 වැනිදා ඇරැඹි දින 120 ක් පුරා පැවැති කොමිසමේ සාක්ෂි විභාගය පසුගිය අඟහරුවාදා (17) අවසන් විය. සාක්ෂිකරුවෝ 63 ක් මීට කැඳවනු ලැබූහ. ප‍්‍රශ්න කිරීම්වලට ලක් වූ අය අතර එජාපයේ ඇමැතිවරු තිදෙනෙක් ද සිටියහ. ඒ අතුරින් රවි කරුණානායකට මුදල් ඇමැති ධුරය ද අහිමි විය. කොමිසම අවසන් දිනයේ දී සඳහන් වූයේ කොමිසමේ දී හෙළි වූ කරුණු සම්බන්ධයෙන් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට ද ප‍්‍රශ්නාවලියක් යොමු කර ඇති බවය. දිව්රුම් ප‍්‍රකාශයක් මගින් ඊට පිළිතුරු අපේක්ෂා කරන බව ද දැනුම් දුන් අතර එම පිළිතුරු අනුව අවශ්‍ය වුවහොත් පමණක් අගමැතිවරයා කැඳවන බව ද සඳහන් විය.

Rate this item
(3 votes)