March 29, 2024

මෛත්‍රී යටතේ මහින්ද ශ්‍රීලනිපයේ බෙලිඅත්ත සංවිධායක ධුරය බාර ගැනීම සූදානම්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක ධුරය බාර ගැනීම සූදානම් බව එජනිස පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයාට ශ‍්‍රිලනිප බෙලිඅත්ත ආසන සංවිධායක ධූරය බාරගන්නැයි සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර මහතා පසුගියදා ප්‍රකාශ කළේය. එම ප්‍රකාශය පිළිබඳ ඊයේ(19) ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ මාධ්‍ය හමුවකට සහභාගී මන්ත්‍රීවරයා මේ බව පැවසී ය.

ශ්‍රීලනිපය යහපාලන ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් හිටපු ජනාධිපතිවරයා බෙලිඅත්ත නොව ඕනෑම ආසනයක් බාර ගැනීමට සූදානමින් සිටින බවද ඒ සඳහා සන්ධානයේ මන්ත්‍රීවරු 96 දෙනා එකට සිට ගත යුතු බවද මන්ත‍්‍රීවරයා අවධාරණය කළේය.

ශ්‍රීලනිප කණ්ඩායමක් එජාපයේ ප්‍රතිපත්ති සමඟ සිටින තාක් කිසිදු ආසනය භාරගෙන වැඩක්‌ නොමැති බවත් පලමුව කළ යුත්තේ ශ‍්‍රිලනිප මතය හා ප්‍රතිපත්ති මත එකට සිට ගැනීම බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

මේ අතර පසුගියදා කොළඹ ජනාධිපති මන්දිරයේ පැවැති ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අතරතුරදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ අත්තනගල්ල ආසන සංවිධායක ලෙස හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පත් කර තිබේ.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපත මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරුන් ලෙසද කටයුතු කරයි.

කෙසේවෙතත් මහින්ද රාජපක්ෂ මහතා නොසලකා හැර හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ශ්‍රීලනිපයේ ආසන සංවිධායක ධූරයක් ලබා දීම පිළිබඳ එම පක්ෂය තුළ දැඩි කතාබහක් ඇතිවී ඇතැයි වාර්තා වේ.

Rate this item
(4 votes)
Last modified on Sunday, 22 October 2017 15:10