April 20, 2024

(EXCLUSIVE) රාජිත - බිල් ගේට්ස් හමුව නොකෙරෙන ලකුණු - රාජිත තවම කැමැත්ත ලබාදී නෑ (VIDEO)

මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් මහතා හමුවීම පිළිබඳ තවම තීන්දුවක් ගෙන නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඒෂියන් මිරර් වෙබ් අඩවියට පැවසී ය.

බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අගය කිරිම සහ අධ්‍යයනය කිරිම සඳහා මයික්‍රොසොෆ්ට් සමාගමේ තාක්ෂණික උපදේශක බිල්ගේට්ස් (Mr.Bill Gates) මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අතර විශේෂ හමුවක් ලබන නොවැම්බර් මස 15දා අබුඩාබියේ දී පැවැත්වීමට නියමිතය. ඒ අබුඩාබියේ පැවැත්වෙන ගෝලීය සෞඛ්‍ය රැස්වීමෙන් අනතුරුවය.

කෙසේ වෙතත් අප සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ බිල්ගේට්ස් මහතා හමුවීමට ඇති දිනයේදී අයවැය විවාදයේ ඡන්ද විමසීම පැවැත්වෙන බවත් එනිසා තමා සහභාගී වී පිළිබඳ තීන්දුවක් ගෙන නොමැති බවත්ය.

නමුත් එම හමුවට සහභාගී වනවාද නැද්ද යන්න ලබන පළමුවැනිදට පෙර දැනුම් දිය යුතු බවත් තමා මේ පිළිබඳ ජනාධිපතිවරයා සමගද සාකච්ඡා කළ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

බෝවන රෝග මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති ක්‍රියාමාර්ග අධ්‍යයනය කිරිමට තමන්ට අවශ්‍ය බව බිල්ගේට්ස් මහතා සෞඛ්‍ය අමාත්‍යවරයාට දැනුම් දී ඇති අතර, ඒ සඳහා පැයක කාලයක් ද වෙන් කර ලබා දී ඇත. මෙම අවස්ථාවට අබුඩාබියේ ඔටුන්න හිමි කුමාරයා සහ ජිමී කාටර් (Mr. Jimmy Carter) මහතා ද සහභාගිවීමට නියමිතය.

ෆොබ්ස් දත්තවලට අනුව ලොව ධනවත්ම පුද්ගලයා වන බිල්ගේට්ස් මහතා එම වාර්තාව අඛණ්ඩව සිව් වන වරටත් හිමි කර ගත් පුද්ගලයා ද වේ. 2017 ඔක්තෝම්බර් මාසය වන විට ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 89.2 ක් වේ. මයික්‍රොසොෆ්ට් සමාගමේ හිමිකරු ද වන ඔහු මේ වන විට එම සමාගමේ තාක්ෂණික උපදේශකවරයා ලෙස කටයුතු කරයි.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 18 October 2017 12:30