April 20, 2024

විමල් ජනපති හමුවෙන්න යයි - ජනපතිට දුන් විශේෂ ලිපිය මෙන්න

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඇතුළු එම පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයින් ඊයේ (11) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී තිබේ.

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පිළිබදව එම පක්ෂයේ අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීම වෙනුවෙන් මෙම හමුව සිදු විය.

ජනාධිපතිවරයා හමුවීමෙන් පසු අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පැවසූවේ බෙදුම්වාදීන් විසින් සකස් කරන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පැකේජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කැබිනට් මණ්ඩලයේදී අත්හිටුවන ලෙසට ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බවයි.

එමෙන්ම ලැබුණු ජනවරම අනුව මේ සම්බන්ධයෙන් සියළුම දේශපාලන පක්‍ෂ සමග නව කථිකාවතක් අරඹන ලෙසද ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළ බව ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ ජාතික නිදහස් පක්ෂ පෙරමුණේ අදහස් සහ යෝජනා

අතිගරු ජනාධිපතිතුමනි,

ඔබතුමාගේ ප‍්‍රබල අවධානයට ලක් විය යුතු ජාතික වැදගත්කමක් සහිත මූලික ගැටළු

පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්‍ෂයක් ලෙස ජාතික වැදගත්කමක් සහිත බරපතළ ගැටළු කිහිපයක් පිළිබඳව ඔබතුමා සමග සාකච්ඡා කිරීම සඳහා අවස්ථාව ලබා දීම පිළිබඳව පළමුවෙන්ම අපි ඔබතුමාට බෙහෙවින් කෘතඥ වෙමු. ඔබතුමාගේ මැදිහත්වීමෙන් විසඳිය හැකි එවැනි ප‍්‍රධාන ගැටළු 03ක් මෙසේ සැකෙවින් දැක්විය හැක.

(01) මේ වන විට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් ඉදිරිපත් කොට ඇති වාර්තාව ගැඹුරින් සලකා බැලීමේදී සහ පසුගිය දිනවල ආණ්ඩුව විසින් යම් පනත් සම්මත කිරීමේදී අනුගමනය කළ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රමවේද විශ්ලේෂණය කිරීමේදී පහත සඳහන් කරුණු ඉතා හොදින් පැහැදිළි වේ.

01. ආණ්ඩුව විසින් මහජනයාට පොරොන්දු වූ ආකාරයට රටට නව ව්‍යවස්ථාවක් සම්මත කිරීමට හෝ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට කටයුතු නොකරන බව

02. ජනමත විචාරණයට තුඩු දෙන ආකාරයට ව්‍යවස්ථාවේ ඒකීය වගන්තිය හෝ බුද්ධාගමට ප‍්‍රමුඛස්ථානය ලබා දෙන වගන්තිය වෙනස් නොකරන බව

03. බෙදුම්වාදී බලවේග 1987 සිට දිගින් දිගටම ඉල්ලා සිටි ආකාරයට 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමට එරෙහිව පවතින ව්‍යවස්ථාමය බාධක ඉවත් කොට එය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ව්‍යවස්ථාමය ප‍්‍රතිපාදන යෝජනා කෙරෙන බව.

04. ඉදිරිපත් කිරීමට නියමිත ව්‍යවස්ථා සංශෝධනයට අදාළව ගැසට් කරනු ලබන පනත් කෙටුම්පතට මහජන විරෝධය එල්ල විය හැකි බරපතළ ප‍්‍රතිපාදන ඇතුළු නොකර ඒවා පසුව පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන ලෙස ඇතුළු කෙරෙන බව

05. පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දුවක් අනුව ව්‍යවස්ථාවේ ඒකීය වචනය එසේම තිබියදී පළාත් සභාවලට ෆෙඩරල් බලතල ලබා දිය හැකි බව තහවුරු වීම නිසා බෙදුම්වාදී බලවේග ඒකීය වචනය පිළිබඳව සහ බුද්ධාගමට හිමි තැන පිළිබඳව ගැටළුවක් ඇති නොකරන බව

එවැනි තත්වයක් තුළ ගෙන ඒමට නියමිත ව්‍යවස්ථා සංශෝධනය රටට හානිකර නොවන බවට මතයක් තහවුරු කොට ඊට පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබාගත හැකි බවට ආණ්ඩුව විශ්වාස කරනු බව පෙනේ. එහිදී ජනමත විචාරණයක් අවශ්‍ය විය හැකි සංශෝධන ලෙස සැලකිය හැකි දෙවන මන්ත‍්‍රණ සභාව සහ ව්‍යවස්ථා අධිකරණය වැනි යෝජනා සඳහා තුනෙන් දෙකේ බහුතර කැමැත්ත ලබාගත හැකි තත්වයක් තිබේ නම් ආණ්ඩුව ජනමත විචාරණයකට වුව ද තල්ලූ විය හැකි යැයි විශ්වාස කළ හැක. ප‍්‍රධාන වශයෙන් කරුණු 3ක් මත එවැනි විශ්වාසයක් සාධාරණීකරණය කළ හැක.

01. ජනමත විචාරණයක් ජයග‍්‍රහණය කිරීම මගින්, මෙතෙක් කිසිදු ජාතික මැතිවරණයක් ජයග‍්‍රහණය කිරීමට නොහැකි වූ රනිල් වික‍්‍රමසිංහ මහතාට තම බලය තහවුරු කර ගැනීමට ඉඩ ලැබේ.

02. බෙදුම්වාදීන්ගේ පැත්තෙන් ගත් විට ජනමත විචාරණයකට තුඩු දෙන සංශෝධන මගින් පාර්ලිමේන්තුවේදී ඊට තුනෙන් දෙකේ බහුතර කැමැත්ත අහිමි වීමේ අනතුරක් මතු නොවේ නම් ජයග‍්‍රහණය සහ පරාජය යන දෙකම ඔවුන්ගේ ජයග‍්‍රහණයෙන් අවසන් වේ. ජයග‍්‍රහණය කළහොත් ඔවුන්ට අවශ්‍ය සියල්ල ලැබෙන අතර පරාජය වුවහොත් උතුරු නැගෙනහිර ජනමතය වෙන් කොට පෙන්වා බෙදුම්වාදී කොන්දේසි ජාත්‍යන්තරව පූර්ණය කිරීමට ඉඩක් ලැබේ.

03. ව්‍යවස්ථා සංශෝධනය ගෙන එන්නේ වර්තමාන ව්‍යවස්ථාව යටතේ බැවින් ජනමත විචාරණය පරාජය වුව ද තුනෙන් දෙකේ බහුතර බලයෙන් සම්මත වන සංශෝධන තවදුරටත් වලංගු වේ.

04. නීතිය අනුව පනත් කෙටුම්පත් ජනමත විචාරණයකට යොමු කිරීමට පූර්ව සූදානමක් තිබේනම් අමාත්‍ය මණ්ඩලය විසින් ඒ බව පාර්ලිමේන්තුවට දැන්විය යුතුය. නමුත් මෙතෙක් ආණ්ඩුව විසින් අනුගමනය කොට ඇති ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ක‍්‍රමවේදය අනුව පාර්ලිමේන්තුවේ මතු වන තත්වය මත තුනෙන් දෙකේ කැමැත්තට අනතුරක් සිදු නොවේ නම් පමණක් පාර්ලිමේන්තුවේදීම නීතිපතිගේ උපදෙස් මත ජනමත විචාරණයකට යොමු වන බව නිවේදනය කිරීමට ඉඩක් ඇත.

මේ සියලූ කරුණු සලකා බැලීමේදී පෙනී යන්නේ ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පටන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය සහ මහින්ද රාජපක්‍ෂ මහතා ද ඇතුළු මෙතෙක් රට පාලනය කළ කිසිඳු ජනාධිපතිවරයෙක් විසින් නොකළ දේ කිරීමට ඔබතුමාට බලකෙරෙන බව ය. ඒ අනුව මෙතෙක් අප අත්විඳ නැති 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීමේ අහිතකර ප‍්‍රතිඵලවල වගකීම ඉතිහාසය විසින් ඔබතුමාගේ කර මත පටවනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කළහොත් උතුරේ බෙදුම්වාදී නායකයින් විසින් පොලිස්, ඉඩම් සහ මුදල් බලය ආදී බරපතළ බෙදුම්වාදී බලතල මධ්‍යම ආණ්ඩුව සම`ග ගැටුම් ඇති වන ආකාරයට ක‍්‍රියාත්මක කරන බවට කිසිදු සැකයක් නැත. එම ගැටුම් තුළ සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාව අතර අවිශ්වාසය, සැකය, බිය වර්ධනය වනු ඇත. එම තත්වය භාවිතා කරමින් රටට හතුරු විවිධ විදේශීය බලවේග විසින් ජාතිවාදී ගිනිදැල් ඇවිලවීමට ද වැඩි ඉඩක් ඇත. අවසානයේදී එම ගැටුම් තුළ බෙදුම්වාදීන් විසින් විදී බස්සවන නිරායුද අහිංසක ජනතාවට එරෙහිව දියත් වන විවිධ ක‍්‍රියාමාර්ග බොහෝ විට ඔවුන් විසින්ම නිර්මාණය කිරීමට ඉඩ ඇත. එවැනි අවාසනාවන්ත තත්වයන් හරහා ජාත්‍යන්තර ප‍්‍රජාවට මැදිහත්වීම සඳහා අවස්ථාව උදා කෙරෙනු ඇත. ඒ සියල්ලෙහි අවසානය කොසෝවෝ, නැගෙනහිර ටිමෝරය හෝ සුඩානය ජාත්‍යන්තර මැදිහත්වීමෙන් බෙදා වෙන් කළ ආකාරයට සිදු වන බවට අපට නම් කිසිදු සැකයක් නැත.

අතිගරු ජනාධිපතිතුමනි,

අපගේ මාතෘභූමිය මෙම අනතුරින් මුදවා ගැනීමේ යම් අවස්ථාවක් ඉතිහාසය විසින් ඔබතුමාට ලබා දී ඇත. එම අවස්ථාව භාවිතා කොට වර්තමාන ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය, සියලූ පාර්ශ්වවල එක`ගතාව ය ලබා ගැනීමට නොහැකි වුවක් සේ සලකමින් සහ ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ගෞරවනීය ඉල්ලීම ද සැලකීමට ලක් කරමින්, අත්හිටුවීමට ක‍්‍රියා කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු. ඊට අදාළව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කරන ලද ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතය මෙසේ උපුටා දැක්වීමට කැමැත්තෙමු.

‘‘ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව මෙතෙක් කටයුතු කර ඇති ආකාරයත් පත්කරන සාමාජිකයන්ගේ කර්යක්ෂමතාව හා ජනතාව දක්වන ආකල්ප හා කරුණු සැලකිල්ලට ගනිමින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය කුමන ආකාරයකින් සකස් විය යුතු ද යන්න නැවත අධ්‍යයනයක් සිදු කළ යුතු බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මතයයි.

වර්තමාන ව්‍යවස්ථාව යටතේ පිහිටුවන ලද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව තුළින් තෙකෙන් දුරට බලාපොරොත්තු වූ කාර්ය ඉටු වී ඇති ද යන්න සමාලෝචනය කළ යුතුව ඇත. ඒ අනුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතිය පත් කිරීමේ ක‍්‍රමවේදය පිළිබඳව අලූතින් කල්පනා කළ යුතුව ඇත.’’

අතිගරු ජනාධිපතිතුමනි,

ඉන්පසුව 1998 සිට 2000 දක්වා වසර 2ක් තිස්සේ සංවාදයට ලක් වූ ව්‍යවස්ථා සංශෝධනය රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් එම කෙටුම්පතට ගිනි තබා අවසන් කිරීමෙන් පසුව එතුමා විසින්ම එම සංවාදය නැවත ආරම්භ කළා සේ නව වටයකින් ව්‍යවස්ථා සංශෝධන ක‍්‍රියාවලිය ඔබතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කිරීමේ බාධාවක් නැත. සිංහල, දෙමළ, මුස්ලිම් සියලූ ජනතාවට සමානව සලකන සහ බලය බෙදීමේ කුඩාම ඒකකය වන පුද්ගලයා අතට බලය ලබා දෙන නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේදී 13 වැනි සංශෝධනය පිළිබඳව හෝ ඉන් එහාට යාමක් හෝ එය අහෝසි කිරීමක් පිළිබඳ ගැටළුවක් මතු වන්නේ නැත. ඒ තුළ බෙදුම්වාදී නායකයින් අතළොස්සකගේ පෞද්ගලික දේශපාලන අරමුණු ඉටුකර දීම වෙනුවට සැබෑ ලෙසම සුළු ජනකොටස්වලට සාධාරණය ඉටුකර දීමේ ගෞරවය ද ඔබතුමාට හිමි වනු ඇත.

අතිගරු ජනාධිපතිතුමනි,

(02) දෙවනුව අප ඔබතුමාගේ අවධානයට ලක්කරනු ලබන කරුණ ද ශ‍්‍රී ලංකාව නම් වූ රාජ්‍යය දුර්වල කොට බෙදා වෙන් කිරීමේ ජාත්‍යන්තර උවමනාව සම`ග එකට බැදී ඇත. ඒ ආරක්‍ෂක හමුදා දුර්මුඛ කොට දුර්වල කිරීමේ උවමනාව පිළිබඳව යි. මානව හිමිකම් සමුළුවේ 2015-30/01 යෝජනාව ප‍්‍රකාරව දියත් වී ඇති ක‍්‍රියාමාර්ග හරහා මේ වන විටත් එම ක‍්‍රියාවලිය ආරම්භ වී ඇත. ඔබතුමාගේ මැදිහත්වීමෙන් යම් අවස්ථාවල එම ක‍්‍රියාමාර්ග පසුබෑමකට ලක්වුවත් ගත වන සෑම දිනකම ඒවා ඉදිරියට ගමන් කරන බව පෙනේ. විශේෂයෙන්ම අතුරුදහන්වූවන්ගේ කාර්යාලය පිහිටුවීමේ පනත ක‍්‍රියාත්මක වීම තුළ එම ක‍්‍රියාකාරකම්වලට විධිමත්භාවයක් ද ලැබෙනු ඇත.

ආණ්ඩුව විසින් පසුගිය දිනවල සම්මත කිරීමට උත්සාහ කොට ඔබතුමාගේ මැදිහත්වීම මත කල් දැමුණු අතුරුදහන් කිරීම් වැළැක්වීමේ ජාත්‍යන්තර ප‍්‍රඥප්ති පනත සම්මත වුවහොත් තත්වය ඉතා භයානක වන බවට කිසිදු සැකයක් නැත. එයට හේතුව එම පනත මගින් රණවිරුවන් දඩයම් කිරීමේ ක‍්‍රියාවලිය ජාත්‍යන්තරකරණය වීම ය. එම පනත සම්මත කළහොත් ඉන් පසුව ඇති වන තත්වයන් පාලනය කිරීමට ඔබතුමාට බල අධිකාරියක් හෝ දේශපාලන අවකාශයක් නොලැබෙන බව සහතික ය. එම නිසා එම පනත පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයෙන් ඉවත් කිරීම සඳහා ඔබතුමා සතු බලතල භාවිතා කරන ලෙස අපි ඔබතුමාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු. එම පනත් කෙටුම්පත විවාදයට ගැනීමේ කල් දැමීම සඳහා ඔබතුමා විසින් දරන ලද මැදිහත්වීම ජාතික බලවේග අතර බලවත් ඇගයීමට ලක් වූ බව ද සඳහන් කළ යුතු ය.
(03) තුන්වනුව අප විසින් ඔබතුමාගේ අවධානයට ලක් කරනු ලබන්නේ මේ වන විට දියත් වී ඇති ගෞරවනීය මහා සංඝරත්නයට නින්දා පරිභව කිරීමේ ක‍්‍රියාවලියයි. එය ඉතා සැලසුම් සහගතව යම් ආකාරයකට යම් පිරිසක් විසින් මධ්‍යගතව මෙහෙයවන බව පෙනේ. ‍ඓතිහාසිකව අප රටේ රාජ්‍යයේ සුජාතභාවය සහ සමාජයේ පැවැත්ම සම්බුද්ධ සාසනයේ පැවැත්ම සම`ග එකට බැ`දී ඇත. අන්‍ය ආගමික සංස්ථාවන් රටට නොවැදගත් බවක් ඉන් අදහස් නොවේ. දැනට ආරම්භ කොට ඇති ක‍්‍රියාවලිය තවදුරටත් ඉදිරියට ගමන් කළහොත් එය ආපසු හැරවිය නොහැකි අන්තයක් දක්වා රැගෙන යාමට ඊට මැදිහත් වී සිටින පිරිස් කටයුතු කරන බවට සැකයක් නැත. විශේෂයෙන්ම එම ක‍්‍රියාවලිය ඉහත සඳහන් කළ බෙදුම්වාදී අවශ්‍යතාවය න් සම`ග එකට බැඳී තිබීම නිසා තත්වය වඩාත් බරපතළ වේ. එම නිසා ඔබතුමා පෞද්ගලිකව මැදිහත් වී රාජ්‍යයේ යම් පාර්ශ්ව විසින් සහ ඊට උඩගෙඩි දෙමින් යම් ජනමාධ්‍ය විසින් ඉටු කරනු ලබන සමාජ විරෝධි සහ ආගම් විරෝධි ක‍්‍රියාවලිය නවත්වන ලෙස ද අපි ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

දේශපාලන මණ්ඩලය
ජාතික නිදහස් පෙරමුණ
2017-10-11

Rate this item
(0 votes)
Last modified on Friday, 13 October 2017 09:22