April 25, 2024

කරළියෙන් එහා: මුස්ලිම් ඇමැතිවරු තිදෙනා කැබිනට්ටුවේදී මත ගැටුමක - බැසිල් උතුරට ගිය ගමන

පසුගිය සතියේ දේශපාලන කරළිය උණුසුම් වූයේ නව ව්‍යවස්ථාව පිළිබඳ පැවැති මතවාදය හේතුවෙනි. කෙසේ වෙතත් සුපුරුදු පරිදි සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම පැවැති අතර එහිදී ජාතික සීමා නිර්ණ කමිටුවේ නියෝජිතවරයෙකුගේ පත්වීමක් සම්බන්ධ කරුණකට අදාළව කැබිනෙට්ටුව තුළ දැඩි උණුසුම් වාතාවරණයක් මතුවිය. ජාතික සීමා නිර්ණ කමිටුවේ මුස්ලිම් නියෝජිතවරයා සම්බන්ධව මෙසේ මෙහිදී යම් මතභේදයක් මතුව ආවේය.
“මේ පුද්ගලයා බදුයුදීන්ගේ ආධාරකරුවෙක්, දේශපාලනය කරන කෙනෙක්”, රවුෆ් හකීම් මහතා මෙහිදී චෝදනා කරන්නට විය. කෙසේ වෙතත් ෆයිසර් මුස්තාෆා මහතා මෙම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, රිෂාඩ් බදුයුදීන් මහතාද වාදයට එක්වෙමින්, හකීම් මහතාට එරෙහිව විවිධ චෝදනා එල්ල කරන්නට විය. මේ හේතුවෙන් තිදෙනා අතර වාග් සංග්‍රාමය කමෛන් උණුසුම් තත්ත්වයකට පෙරළෙන්නට විය.

කෙසේ වෙතත් අවසානයේ ඇමැතිවරුන් තිදෙනා අතර මෙසේ ඇතිවූ උණුසුම් විවාදය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා මැදිහත් වී සමථයකට පත් කළහ.

කැබිනට්ටුවට බලු - වඳුරු ප්‍රශ්නයක්

රටේ ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳව මෙන්ම එම ක්‍රියාවලියට එල්ල වී ඇති බාධක පිළිබඳව ද මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී පුළුල්ව සාකච්ඡාවට ලක්විය. විශේෂයෙන්ම වන සතුන්ගෙන් වගා බිම්වලට එල්ලවන තර්ජන පිළිබඳවද මෙහිදී අවධානය යොමුවිය. ඒ අතර “බල්ලන්”, “වඳුරන්” ගැනත් සාකච්ඡා විය.

වන අලින්ගෙන් මෙන්ම වඳුරන්ගෙන් මෙම වගා බිම්වලට සිදුවන හානිය පිළිබඳව මෙහිදී අමාත්‍යවරු කිහිපදෙනක්ම අදහස් දක්වන්නට වූහ. “කෑගල්‍ලේ විතරක් වඳුරෝ 7000කට වඩා ඉන්න බවට ගණන් බලල තියෙනවා. මේ සත්තු ප්‍රදේශයේ වගා බිම්වලට මහා විනාශයක් කරනවා” යැයි එම ප්‍රදේශයේ නියෝජිතයෝ කිහිප පළක් මෙහිදී සංඛ්‍යා‍ලේඛන සහිතවම පෙන්වා දුන්හ.

“මේ වඳුරු උවදුර මර්දනය කරන්න ක්‍රමවත් වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේක අපි හිතනවට වඩා බරපතළ ගැටලුවක්” යැයි මෙහිදී එස්.බි. දිසානායක අමාත්‍යවරයා පැවැසීය. “ඔව්, මේ වඳුරෝ මර්දනය කරන්න වෙනවා. නැත්නම් වගාබිම් පාලුවෙලා, ලොකු ආහාර අර්බුද මතුවෙන්න පුළුවන්” යැයි පී. හැරිසන් මහතාද සිය එකඟතාව පළ කළේය.

මෙහිදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා, කොළඹ නගරයේ අයා‍ලේ යන බල්ලන් හා ගවයින් පිළිබඳ ප්‍රශ්නයක්ද මෙතනට ඈඳා ගත්තේය. “වඳුරෝ විතරක් ‍නෙවෙයි. කොළඹට නම් හරක් හා බල්ලන්ගෙනුත් ලොකු කරදරයක් වෙනවා” ඔහු පැවැසීය.
“අපි අයා‍ලේ යන හරක් මර්දනය කරන්න වැඩපිළිවෙළක් පටන් ගත්තා, අයා‍ලේ යන බල්ලෝ 60,000ක් විතර කොළඹ අවට ඉන්න බවටත් ගණන් බලා තියෙනවා.” යැයි චම්පික රණවක මහතා වැඩි දුරටත් පැවැසීය. ඇත්තෙන්ම මෙහිදී බොහෝ අමාත්‍යවරුන්” නොකියා කිව්වේ” මෙම සතුන් මරා දැමීමට වැඩපිළිවෙළක් අවශ්‍ය බවය.

කෙසේ වෙතත් මේ පිළිබඳව නිශ්චිතව අදහසක් හෝ තීරණයක් නොදුන් ජනපතිවරයා සිනාමුසු මුහුණින් පැවැසුවේ “ මෙහෙම ගියොත් ලංකාවේ මිනිස්සුන්ට වැඩිය සත්තු ඉදිරියෙන්” යනුවෙනි.
බල්ලන්, වඳුරන් පිළිබඳ මාතෘකාව එලෙස සුහද මට්ටමින් කැබිනෙට්ටුව තුළ සාකච්ඡා විය.

සම්බන්ධන් ජී.එල් - දිනේෂ්ට මූණටම කී දේ

මේ අතර පසුගියදා මෙරට බංග්ලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ විශේෂ උත්සවයක් හා රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්විණ. මේ සඳහා රජයේ මැති ඇමැතිවරුන්ට මෙන්ම විපක්ෂයේ නියෝජිතවරුන් හා දේශපාලකයන්ටද ආරාධනා කර තිබිණ. භෝජන සංග්‍රහයේදී විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා, දිනේෂ් ගුණවර්ධන මහතා හා මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා අසුන්ගෙන සිටියේ එක ළඟය. මෙහිදී සිනා මුසු මුහුණින් දිනේෂ් ගුණවර්ධන මහතා දෙස බැලූ සම්බන්ධන් මහතා මෙසේ පැවැසීය.

“දකුණේ ජනතාවට නව ව්‍යවස්ථාව ගැන බොරු කියලා බය කරන්න එපා. අලුත් ව්‍යවස්ථාව ගොඩනගන්න ලැබිල තියෙන අවස්ථාව නැති කරන්න එපා”
පසුව ජී.එල්. පීරිස් මහතා වෙතද හැරුණු සම්බන්ධන් මහතා සුහද මට්ටමින් ඉල්ලා සිටියේ , නව ව්‍යවස්ථාව ගෙන එන්නට සහය දෙන ලෙසයි. “දකුණේ දේශපාලකයන් මේ ව්‍යවස්ථාව ගැන බොරු කියලා ජනතාව රවටනවා. මේකෙන් රට බෙදෙනවා කියනවා. නමුත් එහෙම රට බෙදීමක් මේකෙන් වෙන්නේ නැහැනේ, මේ වෙලාවේ මේක ගෙන එන්න උදව් කරන්න” යයිද සම්බන්ධන් මහතා මෙහිදී පැවැසීය.

මෙහිදී දිනේෂ් ගුණවර්ධන මහතා මෙන්ම ජී.එල්.පීරිස් මහතාද සුහද මට්ටමින්ම විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. මේ යෝජනා වී ඇති ව්‍යවස්ථාව තුළ අපට එකඟ විය නොහැකි කරුණු රාශියක් තියෙනවා. ඒ නිසයි අපි මේකට විරුද්ධ” ජී.එල්.පීරිස් මහතා පැහැදිලි කළේය.

කෙසේ වෙතත් විපක්ෂනායක සම්බන්ධන් මහතා මේ දිනවල සිටින්නේ නව ව්‍යවස්ථාව ගොඩනැගීම පිළිබඳ දැඩි උනන්දුවකිනි. හමුවන බොහෝ දෙනකු සමග කතා කරන්නේද ඒ ගැනමය. පසුගිය දා කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති සාක් කලාපීය කථානායකවරුන්ගේ සමුළුවේ සමාරම්භයට ද සම්බන්ධන් මහතා එක්විය. එම උත්සවයෙන් පසුව පැවැති භෝජන සංග්‍රහයේදී තමාට හමුවූ රජයේ දේශපාලනඥයන් කිහිපදෙනකු සමගම සම්බන්ධන් මහතා නව ව්‍යවස්ථාව ගැන කතා කළේය. “මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඕනේ. නැත්නම් අපරාධයක්” සම්බන්ධන් මහතා නිමල් සිරිපාල ද සිල්වා මහතාට ළංවී පැවැසීය. සිරිපාල මහතාද පසුගිය දිනවල පාර්ලිමේන්තුවේදී පැළඳී බොරු කොණ්ඩය රහිතවම මෙම උත්සවයට එක්ව සිටි අතර, ඒ මහතා සම්බන්ධන් මහතා සමග එක්ව ආහාර අනුභව කරන අතරතුර ව්‍යවස්ථාව ගැනද බර සාකච්ඡාවක නිරත විය.

එජාපය පුංචි ඡන්දෙට මුල පුරයි

පුංචි ඡන්ද පැවැත්වෙන දිනයන් තවමත් නිශ්චිතව නැතත් මේ වන විට පක්ෂ කිහිපයක්ම තම ප්‍රචාරක හා සංවිධාන කටයුතු මේ වන විට ගම් මට්ටමින් ආරම්භ කර ඇත. මේ අනුව එක්සත් ජාතික පක්ෂය පසුගිය සතියේ අනුරාධපුර කලා වැව ආසනයේ, පක්ෂ ක්‍රියාකාරී රැස්වීමක් තලාව ප්‍රදේශයේදී පැවැත්වීය. රැස්වීම ආරම්භවීමට පෙර එහි පැමිණ සිටි පක්ෂ ක්‍රියාකාරීහු පිරිසක් පක්ෂයේ මහ‍ලේකම් කබිර් හෂීම් මහතා වෙත තම දුක් ගැනවිලි ඉදිරිපත් කළහ. “අපිට හිමි දේශපාලන වන්දි ලැබිල නැහැ. දැන් අවුරුද්දකටත් වැඩී මේ ඉල්ලීම කරලා. තවම මුකුත් නැහැ.” එක පක්ෂ ක්‍රියාකාරිකයෙකු පැවැසුවේ තරමක අවේගශීලී අයුරකිනි.

“‍පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ, ඒවා අපි කරනවා” හෂීම් මහතා බොහොම සන්සුන්ව පිළිතුරු දුන්නේය. “ඒ වුණාට සර් ඊළඟ ඡන්දෙදි පැරදුනාම කොහොමද වන්දි ගෙවන්නේ ? පාක්ෂිකයෝ තවදුරටත් නොසන්සුන්වෙමින් ප්‍රශ්න කළේය.
ඒ ප්‍රශ්නයෙන් නම් හෂීම් මහතා තරමක් කලබලයට පත්විය. “කොහොමද පරදින්නේ? අපි ඊළඟ ඡන්දයත් උඩින්ම දිනනවා, ” හෂීම් මහතා දැඩි විශ්වාසයකින් පැවැසීය. “ඒ වුණාට සමහර පාක්ෂිකයෝ කලකිරිලා සර්, ‍පොරොන්දු තාම හරියට ඉටුවෙලා නැහැනේ. හිතේ තියෙන දුකටයි මේ වගේ දේවල් කියන්නේ” අසල සිටි තවත් පක්ෂ ක්‍රියාකාරිකයකු පැහැදිලි කළේය. “ඔව් සර් අපි නඩු ෆයිල් කරලා, ඒවාට සල්ලි වියදම් වෙලා. තවම වන්දි නැහැ. ලැජ්ජයි සර්” තවත් පාක්ෂිකයකු චෝදනා කළේය.
“හරි අපි ඉක්මනටම විසඳුම් දෙන්නම්“ යයි කබිර් හෂීම් මහතා ‍පොරොන්දු විය.

බැසිල් උතුරට

බැසිල් රාජපක්ෂ මහතාගේ යාපනය සංචාරයද පසුගිය සතියේ මාධ්‍ය අවධානය යොමුවූ සංසිද්ධියක් විය. ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ නියෝජනය කරමින් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පසුගිය සති අන්තයේ මෙම යාපනය සංචාරය ආරම්භ කළහ.
අනුරාධපුරයේ එස්. එම්. චන්ද්‍රසේන මහතාගේ නිවසින් දිවා ආහාරය ගත් බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස යාපනයට පැමිණෙන විට පිළිගනු ලැබුවේ මේ වන විට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට එක්ව සිටින හිටපු ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරයකු විසිනි.
මෙම සංචාරය පුරා රැස්වීම් සංවිධානය කරන ලද්දේ ‍පොදුජන පෙරමුණට සම්බන්ධ එම ප්‍රදේශයේම නවක සාමාජිකයන් වීම විශේෂත්වයක් විය. ‍පොදුජන පෙරමුණ යාපනයේ පැවැත්වූ රැස්වීම් කිහිපයම සාර්ථක වූ බව පක්ෂයේ අදහසයි. බැසිල් රාජපක්ෂ මහතා අපේක්ෂා කළාටද වඩා වැඩි සෙනඟක් එම රැස්වීම්වලට සහභාගි වී සිටියහ. මෙම සංචාරයේදී බැසිල් රාජපක්ෂ මහතා නල්ලූර් කෝවි‍ලේ හින්දු ආගමික නායකයන් කිහිප දෙනකුද මුණ ගැසිණ.

දකුණේ අන්තවාදී සුළු පිරිසක් සිදුකරන ඇතැම් ක්‍රියාකාරකම් සඳහා උතුරේ මාධ්‍ය විශාල ප්‍රචාරයක් ලබාදෙන බවත් ඒ හේතුවෙන් උතුරේ සාමාන්‍ය ජනතාව බියට පත්ව ඇති බවත් මෙම හින්දු ආගමික නායකයෝ රාජපක්ෂ මහතාට පැවැසූහ. “දකුණේ බහුතර ජනතාව තුළ අන්තවාදී අදහසක් නැහැ“ බැසිල් රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.

“ඔබතුමන්ලා කොළඹට ඇවිත් බලන්න. එතකොට දකුණේ තත්ත්වය ගැන ඔබතුමන්ලාටම පැහැදිලි අදහසක් ලබාගන්න පුළුවන්“ යයිද බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය. රාජපක්ෂ මහතාගේ ආරාධනය ඉහළින්ම පිළිගත් හින්දු පූජකයන් පිරිස පැවැසුවේ උතුරුකරයේ සංවර්ධනය මේ වනවිට ඇණහිට ඇති බවකි. “යහපාලන රජයෙන් තවම එකම එක සැලකිය යුතු සංවර්ධන ව්‍යාපෘතියක්වත් උතුරට ලැබිලා නැහැ. පහුගිය ආණ්ඩුව ආරම්භ කරපු දේවල් පවා දැන් නතර වෙලා“ යයිද මෙම පිරිස පැවැසූහ.

බැසිල් රාජපක්ෂ මහතා හා උතුරේ මාධ්‍යවේදීන් අතර විශේෂ හමුවක් යාපනයේදී සිදුවිය. මෙහිදී ප්‍රදේශයේ මාධ්‍යවේදීන් රැසක් විවිධ ප්‍රශ්න රාජපක්ෂ මහතා වෙත යොමු කළ අතර එමනිසාම සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් දක්වා දීර්ඝ විය. “ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල වී තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?“ මාධ්‍යවේදියකු රාජපක්ෂ මහතාගෙන් විමසීය.

“ශ්‍රී ලංකා හමුදාව අතින් යුද අපරාධ සිදුව ඇති බව අප පිළිගන්නේ නැහැ. නමුත් යුද අපරාධ හා සාමාන්‍ය අපරාධ යනු එකක් නොවේ, දෙකක්. හමුදාවේ අය අතින්ද යම් නීති විරෝධී දෙයක් සිදුවන්නට පුළුවන්. ඒ ගැන මෙරට සාමාන්‍ය නීතියට අනුව කටයුතු කළ හැකියි. එයට අප විරුද්ධ නැහැ“ රාජපක්ෂ මහතා පැහැදිලි කළේය.

උතුරේ ජනතාවගේ ඉඩම් ප්‍රශ්නය ගැනද මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක්විය. “උතුරේ ජනතාව සතු ඉඩම් එම ජනතාවට හිමිවිය යුතුයි. මහින්ද රාජපක්ෂ රජය සමයේ එම ඉඩම් නිසි පරිදි යළි ජනතාවට ලබාදීමට කටයුතු ආරම්භ කළා. දැන් දැන් එම කටයුතු අතරමග හිරවෙලා. මේ රජයට අවශ්‍ය මේ ගැටලු නොවිසඳා මේ ලෙසම තියාගන්නයි. ඒ හරහා දේශපාලනික වාසි ලබාගැනීමට මේ රජය උත්සාහ කරනවා “යයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී පැවැසීය.

බැසිල් රාජපක්ෂ මහතා හා යාපනයේ විශ්වවිද්‍යාල සිසුන් අතරද විශේෂ හමුවක් පැවැත්විණ. එම හමුව සඳහා යාපනය විශ්වවිද්‍යාලයේ සිංහල හා දෙමළ සිසුහු විශාල පිරිසක් එක්ව සිටියහ.

“මොනවා වුණත් දැන් අපට වෙනදට වඩා නිදහසක් තියෙන බවක් දැනෙනවා. අපි තිලීපන් සමරුවකුත් පැවැත්වුවා. පසුගිය රජය තිබුණා නම් ඒ වගේ සමරුවක් තියන්න බැහැනේ“ යාපනය විශ්වවිද්‍යාලයේ ද්‍රවිඩ සිසුවෙක් රාජපක්ෂ මහතාගෙන් සෘජුවම විමසීය.

“නිදහස කියන දෙය ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගෙන දෙයක්. යුද්ධය අවසන් වූ විගස එවැනි නිදහසක් උදාවන්නේ නැහැ. ඒත් යුද්ධය අවසන්ව කාලයක් ගත වන විට, නිදහසත් ක්‍රමිකව ගොඩනැගෙනවා. අපේ රජය පැවැතුණත් ඔය කියන නිදහස මේ වන විට උතුරට ලැබෙනවා“ යැයි බැසිල් රාජපක්ෂ මහතා පිළිතුරු දුන්නේය.

Rate this item
(0 votes)
Last modified on Friday, 06 October 2017 15:51