March 29, 2024

රවි මුදල් ඇමැති කාලේ කළ තවත් මගඩියක් හෙළිවෙයි: එස්.බී - දයාසිරිගේ හෙළිදරව්ව ජනපති පිළිගනී

රාජ්‍ය ආයතනවලට වාහන අවශ්‍ය වන අවස්ථාවන්හිදී ඒවා මිලදී ගැනීම වෙනුවට කල්බදු ක්‍රමයට තෝරාගත් සමාගම් තුනකින් පමණක් ලබා ගැනීමට රවි කරුණානායක මහතා මුදල් ඇමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී යොදා තිබූ වැඩපිළිවෙළ අහෝසි කිරීමට පසුගියදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී එකඟතාවක් ඇති වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ කැබිනට් මණ්ඩලයේ ඒ පිළිබඳ සාකච්ඡා කළත්, කැබිනට් පත්‍රිකාවක් නොතිබූ නිසා තීන්දුවක් ගැනීමට හැකියාවක් නොතිබූ බවයි.

මේ ක්‍රමය යටතේ විශාල මුදලක් වැය වන බව ඇමැතිවරුන් පෙන්වා දුන් බවත් කල්බදු ක්‍රමය වෙනුවට ඊට පෙර පැවැති ගෙවීම් ක්‍රමයට වාහන ලබා ගැනීමට සියලුදෙනා එකඟ වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

හිටපු මුදල් ඇමැතිවරයාගේ මේ ක්‍රියාදාමය ගැන දැඩි ලෙස විවේචනය කර ඇත්තේ එස්.බී. දිසානායක සහ දයාසිරි ජයසේකර ඇමැතිවරුන් විසින් බව වාර්තා වේ. මෙය හිතවත් සමාගම් තුනකට පමණක් වාසි ලබාදී ඇති වැඩසටහනක් බව ඔවුන් චෝදනා කර තිබේ. මෙය මගඩියක් බව තමාටත් පේන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාද ප්‍රකාශ කොට ඇතැයි වාර්තා වෙයි.

වාර්ෂිකව ඇතැම් රාජ්‍ය ආයතනවලට සහ ඒවාට සම්බන්ධ ව්‍යාපෘතීන්හි ප්‍රයෝජනය සඳහා වාහන ලබා ගැනීමට අවශ්‍ය වූ විට භාණ්ඩාගාරයේ අනුමැතිය පරිදි ගෙවීමේ ක්‍රමයට වාහන මිලදී ගැනීම් සිදු විය. එහෙත් තරගකාරී මිල ගණන් කැඳවීමකින් තොරව සිය අභිමතය මත ආයතන 3ක් තෝරා ඉන් කල්බදු ක්‍රමය යටතේ වාහන ලබා ගැනීමට රවි කරුණානායක හිටපු මුදල් ඇමැතිවරයා කටයුතු කර තිබිණි. එම ආයතන රවි කරුණානායක මහතාගේ ව්‍යාපාරික හිතවතුන්ගේ බවටද චෝදනා එල්ල වී ඇත.

Rate this item
(6 votes)
Last modified on Sunday, 08 October 2017 16:53