April 25, 2024

විජයදාස එජාප සංවිධායක ධූරයෙනුත් දොට්ට - මහරගම එජාප සංවිධායක ධූරය එරන්ද වැලිඅංගගේට?

හිටපු අමාත්‍ය, එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂයේ මහරගම ආසන සංවිධායක ධූරයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි එජාප ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව එජාප මහරගම ආසන සංවිධායක ධූරය ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතාට ලබා දීමට එජාප නායක, අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේ වෙතත් එජාප මහරගම ආසන සංවිධායකවරයා ලෙස හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා කටයුතු කරන අතර එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු සමග ගැටුමක සිටින විජයදාස රාජපක්ෂ මහතා පක්ෂයේ වැඩකටයුතුවලට සම්බන්ද නොවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.

විජයදාස රාජපක්ෂ මහතා ඇමැති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව අගමැතිවරයා ජාතික තරුණ සේවා සභාවේ සභාපති එරන්ද වැලිඅංගගේ මහතාට මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වැඩ කටයුතු ගැන සොයාබලන ලෙස උපදෙස් දී තිබේ.

තරුණ සේවා සභාපති ධූරය ගැටලුවක්

ආසන සංවිධායකවරයෙකු ලෙස කටයුතු කරන අතරවාරයේදී තරුණ සේවා සභාවේ සභාපතිවරයා ලෙසද කටයුතු කිරීමේ ගැටලුවක් ඇති වී තිබෙන අතර ඒ හේතුවෙන් නිල නොවන වශයෙන් මහරගම එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා ලෙස එරන්ද වැලිඅංගගේ මහතා කටයුතු කරන බව වාර්තා වෙයි.

තරුණ සේවා සභාවේ සභාපති තනතුරට වෙනත් අයෙකු පත්කළ පසුව එරන්ද වැලිඅංගගේ මහතාට නිල වශයෙන්ම මහරගම ආසන සංවිධායක ධුරය ලබා දීමට අගමැතිවරයා සැලසුම්කොට ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(2 votes)
Last modified on Friday, 06 October 2017 12:30