March 29, 2024

කරළියෙන් එහා: ශ්‍රීලනිපය “පුටුවෙන්“ මැතිවරණයට? මහින්ද ඉවත් කර චමල් ලේකම්ධුරයට

September 29, 2017

ගිය සතියේ දේශපාලන කරළියෙන් එහා උණුසුම් වූයේ පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ඡන්දය කල් යෑම සම්බන්ධයෙනි. කෙසේ වෙතත් ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දිය යුතු ආකාරය සම්බන්ධයෙන් ප‍්‍රධානදේශපාලන පක්ෂ ලහි ලහියේ සූදානම් වනබවක් පෙනේ. එක්සත් ජාතික පක්ෂය සහතවත් සුළු පක්ෂ කිහිපයක් එකතු වී එක්සත් ජාතික පෙරමුණවශයෙන් පුංචි ඡන්දයට මුහුණ දීමට තීන්දු කර සිටින අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පැහැදිලි තීන්දු තීරණයකට නිශ්චිත ලෙසමතවමත් එළැඹී නැතැයි පැවසේ.

ශ්‍රීලනිපය පුටුවෙන් මැතිවරණයට

මේ අතර පුංචි ඡන්දයට මුහුණ දීම සඳහා නැවත පුටුව සහ පොදුජන එක්සත් පෙරමුණ කරළියට ගෙන ආ යුතු බවට කතාබහක් මේ දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ සිදුවෙමින් තිබෙන බව ද වාර්තා වේ. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපති ධුරයට පත්වූයේ පොදුජන එක්සත් පෙරමුණේ පුටුව ලකුණින් තරග කිරීමෙන්. ඉන් පසුව මැතිවරණ කිහිපයකටම පුටුව ජයග‍්‍රාහී සලකුණක් වූයේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසකගේ වුවමනාව වී ඇත්තේ පුංචි ඡන්දයට නැවතත් පුටුව ලකුණින් තරග කිරීමටය. පොදුජන එක්සත් පෙරමුණේ සභාපතිවරයා වන්නේ මහින්ද රාජපක්ෂ වන අතර ලේකම් හිටපු අගමැති දි.මු. ජයරත්නය. දැනට යෝජනාවී ඇත්තේ මහින්ද රාජපක්ෂ සභාපතිධුරයෙන් ඉවත්වී එම තනතුරට දි.මු. ජයරත්න පත් කිරීමටය. පක්ෂයේ ලේකම්ධුරය චමල් රාජපක්ෂට පැවරීමටද නියමිතය. ඒ අනුව මහින්ද හා මෛත‍්‍රී පිල් වශයෙන් බෙදීවෙන්වී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව තරග කොට එජාපය පරාජය කිරීම ශ්‍රීලනිපඇමැතිවරුන්ගේ අදහස්ය. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන තවමත් අලූත් යෝජනාවට එකඟතාව පළකර නැත. සාකච්ඡා සාර්ථක වුවහොත් අවසානයේ තමා ද ඊට අනුමැතිය ලබාදෙන බවට ඉඟියක් ජනාධිපතිවරයා කර ඇතැයි පැවසේ. කෙසේ වෙතත් හිටපුජනාධිපතිනි චන්ද්‍රිකා ඊට කිස්සේත් එකඟ නැත. රාජපක්ෂවරුන් හවුල්කරනැවත පක්ෂය විනාශ කිරීමට ඉඩදිය නොහැකියැයි කියමින් චන්ද්‍රිකා පුටුවට විරෝධය දක්වා තිබේ. හිටපු ජනාධිපතිනිය අවධාරණය කරඇත්තේ ශ්‍රීලනිපය ආරක්ෂා කර ගැනීමට අත ලකුණින්ම මැතිවරණයට ඉදිරිපත් විය යුතුබවය. එහෙත් තවත් අදහසකින් කියැවුණේ චන්ද්‍රිකාගේ පුටුව විරෝධය යට ඇත්තේ රාජපක්ෂ විරෝධය බවය. එම මතවාදයෙන් කවරක් ජයග‍්‍රහණය කරනු අත්දැයි තවමත් නිශ්චිතව ප‍්‍රකාශ කළ නොහැකිය.

ඉසුරට ශ්‍රීලනිප දේශපාලනඥයන් පිරිසකගෙන් විරෝධය

බස්නාහිර මහ ඇමැති ඉසුර දේවප‍්‍රියට එරෙහිව කොළඹ ශ්‍රීලනිප දේශපාලනඥයන් පිරිසක් විරෝධය දක්වමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ”මහ ඇමැතිවරයා වැඩ කරන්නේ හරියට ශ්‍රීලනිප අයිතිකාරයා වගෙයි. ජනාධිපතිතුමාගේඅදහස් තමයි එතුමා ප‍්‍රකාශ කරන්නේ කියලා මතයක් සමාජ ගත කරලා. ඇතැම්විට ජනාධිපති කාර්යාලයෙන් ලියලා එවන දේ එතුමා ජනමාධ්‍ය හමුවලදී කියවනවා. පක්ෂය එතුමාට කරන හානිය එතුමාට තේරෙන්නේ නැහැ.” යැයි ශ්‍රීලනිප ප‍්‍රබලයන් පිරිසක් ඉකුත්දා හමුවී සාකච්ඡා කර තිබෙන බව ද වාර්තා වේ. ලබන ජනවාරි මාසයේ පැවැත්වෙන ඡන්දය ඉලක්ක කර ගනිමින් ගම්මට්ටමින් කරන සංවර්ධන ව්‍යාපෘතිවල වැඩ කඩිනමින් නිම කරන්නැයි ආණ්ඩුව උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව මේ වසර සඳහාවෙන්කරදී ඇති මුදල් නැවත භාණ්ඩාගාරයට හරවා නොයවන ලෙස ද ආරම්භ කර තිබෙන ව්‍යාපෘති හැකි ඉක්මනින් නිමකරන ලෙස ද ආණ්ඩුව දිසාපතිවරුන්ට දැනුම් දී තිබේ.

පළාත් පාලන ඡන්දය හා පළාත් සභා ඡන්දය කල් යෑම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය අවසාන වශයෙන් පැටලී සිටින්නේ මැතිවරණ කොමිසමත් සමඟය. ඒකාබද්ධ විපක්ෂයේ මැති ඇමැතිවරුන් මෙන්ම එම සංවිධානයට සහාය දක්වන සංවිධාන හා ව්‍යාපාර ද දිගට හරහට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රියට දෝෂාරෝපණය කරන තත්ත්වයකට පත්ව තිබේ. ”මහින්ද දේශප‍්‍රිය ඊනියා යහපාලන ආණ්ඩුව බිහිකරන්න වක‍්‍රව උදව් උපකාර කළා. එතුමා ඉතාම හදිසියෙන් 2014 ඡන්ද හිමි නාම ලේඛණය ප‍්‍රකාශයට පත් කළා. තරුණ ඡන්ද ගණන වැඩි කිරීමට යැයි කියමින් එතුමා එහෙම කළා. ඒකට යහපාලන ආණ්ඩුව මහින්ද දේශප‍්‍රියට තෑග්ගක් දුන්නා. විශ‍්‍රාම ගිය පසුව නැවතත් එතුමාට සභාපතිකම හම්බවුණා.” ආදී නොයෙකුත් දේ කියමින් ඒකාබද්ධ කල්ලිය දිගින් දිගටම ප‍්‍රහාර එල්ල කරන නමුත් තවමත් මහින්ද දේශප‍්‍රිය ඊට ප‍්‍රතිචාර දක්වන්නට ගියේ නැත.

”මම ප‍්‍රතිපත්තියක් ලෙස දේශපාලනඥයන්ගේ චෝදනාවලට උත්තර දෙන්නේ නැහැ.” මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිතර කියන්නේ ඒ කතාවකි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය මත මහින්ද දේශප‍්‍රියට කර කියාගත හැකි තත්ත්වයක් නැත. පාර්ලිමේන්තුව විසින් සකස්කර දෙන නීති අනුව මැතිවරණ කොමිසම කටයුතු කළ යුතු අතර ඉන් පිටත කටයුතු කිරීමේ බලයක් එම කොමිසමට නැත. ආණ්ඩුව උපක‍්‍රමශීලීව ඡන්ද කල් දැමීමට කටයුතු කිරීම හා මැතිවරණ කොමිසමේ කාර්යභාරය අතර සම්බන්ධතාවයක් නැති බව නීති විශාරදයෝ පෙන්වා දෙති.

ඒකාබද්ධ විපක්ෂයේ මුල් පෙළේ නායකයන්ද ඒ බව නොදන්නවාම නොවේ. එහෙත් ඔවුන්ට අවශ්‍යව ඇත්තේ ආණ්ඩුවට ප‍්‍රතිප‍්‍රහාරයක් එල්ල කිරීම සඳහා මැතිවරණ කොමිසම බිල්ලට ලබා දීම බවට තවත් පිරිසක් වෙනත් අදහසක් දක්වති. කෙසේ වෙතත් කුමකින් කුමක් වේදැයි කියන්නට තවමත් කල් මදිය. මැතිවරණ කල්යනු ඇති බව නම් ඉතා පැහැදිලිවම ප‍්‍රකාශ කළ හැකිය.

ශ්‍රීලනිප රැස්වීමේදී චන්දනගෙන් දොස්

කොළඹ දිස්ත‍්‍රික් ශ‍්‍රීලනිප සංවිධානයේ විශේෂ රැස්වීමක් ඉකුත් දා කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රීලනිප මූලස්ථානයේදී පැවැත්විණි. ඇමැති සුසිල් පේ‍්‍රමජයන්තගේ ප‍්‍රධානත්වයෙන් පැවැති එම රැස්වීමට කොළඹ දිස්ත‍්‍රික්කයේ ශ්‍රීලනිප මැති ඇමැතිවරුන් සහ ආසන සංවිධායකවරුන් ඇතුළු නියෝජිතයෝ පිරිසක් සහභාගි වී සිටියහ. විශේෂයෙන් ඉදිරි පළාත් පාලන ඡන්දය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ අතර පළාත් පාලන ඡන්දය දිනාගැනීම සඳහා සංවිධායකයන් උනන්දුවෙන් කටයුතු කළ යුතු බවත් එහිදී කියැවිණි.

සාකච්ඡාව ආරම්භ වී යහමින් පැවැත්වෙද්දී කැස්බෑව ශ‍්‍රිලනිප ආසන සංවිධායක චන්දන කති‍්‍රආරච්චි ආවේගයෙන් කතා කළේය. ”තමුන්නාන්සේලා ශ‍්‍රිලනිපය දිනවන්නැයි කියනවා. හැබැයි දිනවන්න අපි මොනවද කරලා තියෙන්නේ. සංවිධායකයින් ලෙස අපට සූදානම් වෙන්න කියනවා. ඇත්තටම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දයක් දිනන්න සූදානම්ද? රටේ ගමේ මිනිස්සු අහනවා ඔබතුමාලා මොනවද කළේ කියලා.” යැයි චන්දන කත‍්‍රිආරච්චි ආවේගාත්මකව කතා කරද්දී අනෙකුත් සංවිධායකයෝද ඒවාට විවිධ ප‍්‍රතිචාර දක්වමින් පිළිතුරු බඳින්නට වූහ. චන්දන සටන අතහැරියේ නැත. ”අපි අලියට එකතුවෙලා පොහොට්ටුව පරද්දනවාද එහෙම නැත්නම් පොහොට්ටුවට එකතුවෙලා අලියා පරද්දනවාදැයි චන්දන ප‍්‍රශ්න කරන්නට විය. රටේ ජනතාව බලන් ඉන්නවා අපේ පක්ෂය අපේ නායකයා කොහේද යන්නෙ කියලා.” චන්දන ප‍්‍රශ්න පිට ප‍්‍රශ්න වැලක් සුසිල් පේ‍්‍රමජයන්තටත් සෙසු පිරිසටත් ඉදිරිපත් කළේය.

”පොහොට්ටුව දිනවන්න දැනටමත් මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දු වෙලා’’ කැස්බෑව මගේ ආසනයේ විතරක් ස්ථාන තිහකට විතර එතුමාඇවිත් තියෙනවා. හැබැයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා කීපාරක් ඇවිත් තියෙනවාද? හිටපු ජනාධිපතිට වගේ නෙමෙයි ජනාධිපතිතුමාට විවේකය අඩුයි. මම දන්නවා ඒත් දහයෙන් එකේ අනුපාතයට වත් යන්න ඕනේ නැද්ද” මම මේ කියන්නේ කැස්බෑවේ ප‍්‍රශ්නයක් නොවෙයි. මුළු රටේම ප‍්‍රශ්නයක් ගැන’’යැයි චන්දන කී විට රැස්වීමේ සාකච්ඡාව තවත් උත්සන්න වී ගියේය.” මෛත‍්‍රීපාල ජනාධිපතිතුමා මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො ළඟට ගෙනෙ යන්න මම ඔක්කොම කටයුතු කළා. දිනය වෙලාව සූදානම් කර ගත්තා. ඒත් කොළඹ එක්තරා දේශපාලනඥයකු ජනාධිපතිතුමාට අසත්‍ය කියා ඒ ගමන නැවැත්වූවා. එදා ජනාධිපතිතුමා මැදගොඩ අභයතිස්ස හාමුදුරුවො හම්බවෙන්න ගියා නම් අද පොහොට්ටුවක් කියලා එකක් හැදෙන්නේ නැහැ. අපි ජනාධිපතිතුමා පිළිගන්න ලොකු උත්සවයක් පවා එදා සූදානම් කරලයි තිබ්බේ ඒ ස්වර්ණමය අවස්ථාව ගිලිහුණා.” යැයි චන්දන කත‍්‍රිආරච්චි ලොකු විස්තරයක් කියද්දී අනෙක් ආසන සංවිධායකවරු ද ඒ කතාව අනුමත කළෝය.

ජවිපෙ වැඩ කරන්නේ මහින්දවත් රනිල්වත් සතුටු කරන්න නෙවෙයි

පසුගිය අඟහරුවාදා දිනයේදී ජවිපෙ දේශපාලන මණ්ඩලය පැලවත්ත ප‍්‍රධාන කාර්යාලයේදී රැුස්විය. එහිදී විශේෂයෙන් අවධානයට ගැනුණේ,පළාත් සභා පනත සංශෝධනය කිරීම පිළිබඳව මතුවී ඇති තත්වය සහ විගණන පනත පෞද්ගලික මන්ත‍්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ගෙන ඒම පිළිබඳවය. ”පළාත් සභා ඡුන්ද විමසීමේ පනත පාර්ලිමේන්තුවේ සංශෝධනය වීම ගැන කරුණු හරිහැටි ජනතාව අතරට ගියේ නැහැ. සමහරු තවමත් හිතාගෙන ඉන්නේ 20 සංශෝධනය අධිකරණය තීන්දුවට පිටුපාලා 2/3න් සම්මත කර ගත්තා කියලා. ඒ වගේම තමන්ගේ දේශපාලන සිහිනය බිඳ වැටුණු ඒකාබද්ධ විපක්ෂය අපේ පක්ෂයට මඩ ගහනවා. මේ කරුණු නිසා පනත ගැන නිවැරදි දේශපාලන සංවාදයක් ජනතාව අතරට ගියේ නෑ” ටිල්වින් සිල්වා කියා සිටියේය. ”රාජපක්ෂ කණ්ඩායම මුලදී පළාත් පාලන මැතිවරණය ඕනෑ කියලා කෑගැහුව්වා. දැන් පළාත් සභා ඕන කියලා කෑ ගහනවා. එක එක වෙලාවට තමන්ට වාසිවෙයි කියලා හිතෙන දේශපාලන ප‍්‍රකාශ සිදුකරනවා. රාජපක්ෂ කණ්ඩායම ඡුන්ද ඉල්ලූවට ඇත්තටම ඡුන්දවලට බයයි. කොහොමත් ශ‍්‍රීලනිපය දෙකඩ වෙනවා ඡුන්දයකදී. ඒකට බයයි. ඒකයි ඇත්ත කතාව. ඒකාබද්ධෙට ප‍්‍රාදේශීය සභා මැතිවරණය ආවාම අපේක්ෂකයෝ තෝරගන්න එක අර්බුදයක් වෙනවා ඒකයි පළාත් සභා මැතිවරණයට බය. ඒක වහගන්න අපිට මඩ ගහනවා.” සුනිල් හඳුන්නෙත්ති කියා සිටියේය.

”පළාත් සභා පනතට සංශෝධන ගෙනාපු විදියේ කැතක් තියෙනවා. මේ ආණ්ඩුවට කිසිම සැලසුමක් නැහැ කියන එකට තවත් හොඳම උදාහරණයක් තමයි මේක. නමුත් මේ පනතෙන් පළාත් සභා මැතිවරණයටත් මනාප නැති ඡුන්ද ක‍්‍රමයක් ගෙනාපු එක රටටත් ජනතාවටත් වැදගත්. කවුරු මොනවා කිව්වත් ඒ වගේ දෙයකට ඡුන්දය දෙන එක අපේ වගකීමක්. රාජපක්ෂ කණ්ඩායම දෙවැනි වර කියවන අවස්ථාවට ඡුන්දය දුන්නේ නැහැ. ඒ කියන්නේ කාන්තා නියෝජනයට විරුද්ධයි. ඒ වෙලාවේ 44ක් විරුද්ධ වුණා. නමුත් සංශෝධනවලට ඡුන්දය දුන්නේ 37යි. 7ක්ම ඡුන්දෙට හිටියෙත් නැහැ. මහින්ද රාජපක්ෂ ආවෙත් නැහැ. තමන්ගේ මන්ත‍්‍රීවරු ටිකවත් එක තීරණයක තියාගන්න බැරි බංකොළොත් කණ්ඩායමක් තමයි අපිට චෝදනා කරන්නේ.” අනුර දිසානායක කියා සිටියේය. ”ඔව්, රාජපක්ෂ කණ්ඩායම කියන තරම් මේ පනත මාරාන්තික නම් පනතට ඡුන්දෙ දීලා තමන්ගේ විරෝධය පළකරන්න ඕනෑ. රාජපක්ෂලා රනිල් එක්ක ඞීල් ගහන ගමන් තමයි අපිට චෝදනා කරන්නේ. සිරිලිය ගිණුම් ගැන, රාජපක්ෂ දරුවන්ගේ අපරාධ ගැන පරීක්ෂණ නැත්තේ ඞීල් නිසයි. අපි වැඩ කරන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. රනිල්වත් මහින්දවත් සතුටු කරන්න නෙවෙයි කියලා අපි රටට පැහැදිලි කළ යුතුයි.” ටිල්වින් සිල්වා කීවේය. ”ඇත්තටම මේ වෙලාවේ ජනතාවට ඕනෑ අවුරුදු දෙකහමාරක් විතර පස්සට ගිය පළාත් පාලන ඡුන්දේ. පළාත් සභා ආවනම් ඡුන්දේ තියෙන්නේ පළාත් සභා 03ක විතරයි. පළාත් සභා 03ක ඡුන්දය ආවානම් ආණ්ඩුව ජනාධිපති, අගමැති, ඇමති මණ්ඩලේ බැහැලා බඩු බෙදලා, ආණ්ඩුවේ සම්පත් පාවිච්චි කරලා ඡුන්දෙ කරයි. ඊට වඩා මුළු රටේම ඡුන්දය තියෙන එක අපිටත් හොඳයි ජනතාවටත් හොඳයි. ඒ නිසා අපි හරි දේ වෙනුවෙන් පෙනී හිටිය බව මඩවලට රැුවටෙන්න නොදී ජනතාවට පැහැදිලි කරන්න ඕනෑ.” ලාල්කාන්ත කියා සිටියේය.

නඩු තීන්දුව දවසේ බිමල් රත්නායක විද්‍යාගේ මව හමුවෙයි

පසුගිය 2015 මැයි 13 වන දින පැහැරගෙන ගොස් අපයෝජනයට ලක්කොට ඝාතනය කරන ලද විද්‍යාගේ සිදුවීමට සම්බන්ධ නඩු විභාගයේ තීන්දුව සැප්.27වෙනිදා යාපනය මහාධිකරණයේදී ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ප‍්‍රකාශයට පත්කෙරිණි. එදින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා, යාපනය දිස්ත‍්‍රික් සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාමලිංගම් චන්ද්‍රසේකර් ඇතුළු පිරිසක්ද අධිකරණය වෙත ගොස් සිටියහ. මෙහිදී විශාල පිරිසක් තීන්දුව දැනගැනීම සඳහා උසාවි භූමියට පැමිණ සිටියහ. බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා ඇතුළු පිරිස නඩු තීන්දුවට පෙර විද්‍යාගේ මව හමුවීමට අවස්ථාවක් උදාකර ගත්හ. විද්‍යාගේ සිදුවීමෙන් සතියකට පමණ පසු බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා විද්‍යාගේ මව හමුවූ අතර ඇයට ඔවුන් මතකයේ රැුඳී තිබුණි. මව ඉතාම සංවේදීව දියණිය ගැන සිහිපත් කළාය.

නඩු තීන්දුවෙන් අනතුරුව පැමිණ සිට නීතිඥයෝ, නීති සිසුහු ඇතුළු සිවිල් සංවිධානවල ක‍්‍රියාකාරීන් තීන්දුව පිළිබඳව සෑහීමකින් කතාබහ කළෝය. බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා සමඟ කිහිප දෙනෙක් මේ සම්බන්ධයෙන් අදහස් කියා සිටියේය. ”මන්ත‍්‍රීතුමා මේ නඩු තීන්දුව ඉතාමත් ඓතිහාසික එකක්. ඒ වගේම ඉලංගචේලියන් විනිසුරුතුමා වෙනම නඩු තීන්දුවක් ලබාදුන්නා. එතුමා ගැනත් ලොකු ප‍්‍රසාදයක් තියෙනවා.” නීතිඥයෙක් මන්ත‍්‍රීවරයාට කියා සිටියේය. ”විජයකලා මන්ත‍්‍රීවරියත් මේකට පැටලිලා තිබුණා. යහපාලන ආණ්ඩුව බලයට ඇවිත් මාස 4ක් 5ක් ඇතුළත තමයි මේ සිදුවීම සිදුවුණේ. කොහොම නමුත් මේ සිදුවීම මුළු රටම කම්පා කළ එකක්. විනිසුරු මඩුල්ලේ කටයුතු ප‍්‍රසංශනීයයි.” බිමල් රත්නායක කියා සිටියේය. ”ළමා අපචාර සිදුකරන පුද්ගලයින් එකකින් නවතින්නේ නැහැ. ඔවුන්ට එක සිදුවීමකින් දඩුවම් නොලැබුණහොත් ඉදිරියටත් එවැනි දේවල්වලට යොමු වෙනවා. ඒක තමයි සාමාන්‍ය තත්වය. ජනාධිපතිවරයා මේ දැරියගේ ඝාතනයෙන් පස්සේ යාපනයට ආවා. ඇවිත් පොරොන්දු වුණා ළමා අපචාර සිදුවීම් පිළිබඳව විභාග කරන්න විශේෂ අධිකරණයක් පිහිටුවනවා කියලා. දැන් මාස 28ක් පමණ ගත වෙලා ඉවරයි. නමුත් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරා ගත්ත ක‍්‍රියාමාර්ගයක් නැහැ. අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ නඩු තීන්දුවවත් පාදක කරගෙන ළමා අපචාර සඳහා වෙනම විශේෂ අධිකරණයක් පිහිටුවන්න කියලා. ඒකෙන් තමයි ළමයින්ට සිදුවන අපචාරවලට යම් නීතිමය ආවරණයක් ලැබෙන්නේ.” බිමල් රත්නායක මන්ත‍්‍රීවරයා යාපනයේ සිට මාධ්‍ය මගින් ජනාධිපතිවරයාගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.

Rate this item
(3 votes)
Last modified on Friday, 29 September 2017 16:55