April 16, 2024

යහපාලන ආණ්ඩුවේ මතභේද රැසක්: වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුට බෑ - ජනපති කියයි

September 28, 2017

අද රටේ තහවුරු වී ඇති දේශපාලන ස්ථාවරත්වය තුළ අන්තර්ජාතික වශයෙන් ද සියලුදෙනාගේ සහය ශී‍්‍ර ලංකාවේ සංවර්ධන වැඩපිළිවෙළ සදහා නොඅඩුව හිමිව තිබෙන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

එම සංවර්ධන කි‍්‍රයාවලියේදී කිසිදු වංචාවක්, දූෂණයක් හෝ අක‍්‍රමිකතාවයක් සිදුවීමට ඉඩ නොතබන බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.

හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (27) පෙරවරුවේ බදුල්ල දිස්ති‍්‍රක්කයේ පැවති වැඩසටහනකට එක් වෙමිනි.

වැරදි කරන අයට දඩුවම් ලබා නොදෙමින්, එම වැරදි තව දුරටත් සිදුවීමට පසුගිය ආණ්ඩු ඉඩ හැරිය ද අද කිසිදු දේශපාලන භේදයකින් තොරව වංචාවට, දූෂණයට සහ අක‍්‍රමිකතාවයට එරෙහිව දැඩි කි‍්‍රයාමාර්ගවලට එළැඹීමට රජය ප‍්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කරමින් සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

රට තුළ තහවුරුවී ඇති ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස අනුව දේශපාලන ප‍්‍රතිවාදීන් රජයට කුමන අන්දමේ චෝදනා සහ විවේචන එල්ල කළ ද ලෝකයේ සියලු මිත‍්‍ර රාජ්‍යවල සහය ඇතිව රට තුළ ගෙනයන සංවර්ධන වැඩපිළිවෙළ ආපසු හැරවීමට කිසිවෙකුට නොහැකි බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ආණ්ඩුවේ මතභේද, ප්‍රශ්න ගොඩයි

එම උත්සවය අමතමින් අමාත්‍ය රවුෆ් හකීම් මහතා පැවසූවේ යහපාලන ආණ්ඩුව තුළ මතභේද, ප්‍රශ්න තිබුණද යහපාලන රජය ආරක්ෂා කිරීම වෙනුවෙන් කිසිදු පැකිලීමකින් තොරව කටයුතු කරන බවයි.

එය දින දෙකකට පෙරදිත් ඉතාම ගැටලු සහගත තත්ත්වයක් මතුවූ අවස්ථාවේදී පාර්ලිමේන්තුවේදී ඔප්පු කර පෙන්වූ බව සඳහන් කළ ඇමැතිවරයා විශේෂයෙන්ම සුළු ජාතීන් එකතු වී ප්‍රථම වතාවට ව්‍යවස්ථාවක් සැකසීමට අවස්ථා උදාවී ඇති බවත් මීට පෙර කිසිදු අවදියක මෙවැනි ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කර නොමැති බවත් පෙන්වා දුන්නේය.

ඒ අනුව සියලු දෙනා කැපවී ඒ කර්තව්‍යය ඉටු කිරීමට එකට සිටින බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 September 2017 11:42