April 18, 2024

දුමින්ද දුෂ්ට බලවේගවලට යටවෙලා - මිලියන 1.5ක කෑම බිලක් නිසා තුසිත හල්ලොලුව ඉල්ලා අස්වෙයි

September 26, 2017

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති තුසිත හල්ලොළුව මහතා අද එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

විෂය භාර අමාත්‍ය දුමින්ද දිසානායක මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය යවමින් තුසිත හල්ලොළුව මහතා සඳහන් කරන්නේ යහපාලනයට වින කළ දුෂ්ට බලවේගවල ග්‍රහණයට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහලේකම්, කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා නතුව ඇති බවත් තවදුරටත් ඔහු යටතේ කටයුතු කළ නොහැකි බවත්ය.

එම ලිපියේ වැඩිදුරටත් මෙසේද සඳහන් කර ඇත.

ඔබගේ පියාගේ හදිසි අභාවයෙන් අනතුරුව අධ්‍යාපන සේවා අමාත්‍යවරයා ලෙස ඔබ කටයුතු කරද්දී ඔබගේ කාර්යාල කාමරයේ සිටි සියලු දෙනා ඉවත් කර එක්‌ සන්ධ්‍යාවක දොරගොළුලා කළ ඒ සතරකන් මන්ත්‍රණයේදී වැදගත් දේශපාලන කරුණු රැසක්‌ අප කතා කළ බව ඔබට මතක ඇතැයි සිතමි. රටේ සාරය සූරා කමින් ජනතා බදු මුදල් විනාශ කරමින් ඉන්න රාජපක්‍ෂලාව ගෙදර යවන්න අපි වැඩ කරන් යනවා ඒ කටයුත්තට ඔයත් අපිත් එක්‌ක එකතු වෙන්න කැමති නැද්ද ? යනුවෙන් මා විමසූ අවස්‌ථාවේදී හරියට වැඩේ වෙනවානම් අකමැත්තක්‌ නෑ. යනුවෙන් ඔබෙන් කොළ පැහැති සංඥවක්‌ එදා ලැබුණු ආකාරය මට සිහි වේ. එයින් පසුව මේ පිළිබඳව සාකච්ඡා කිරීමට මම ඔබව මංගල සමරවීර මහතා වෙත ගෙන යන ලදී. එසේ රැගෙන යමින් ආණ්‌ඩුවෙන් පිටතට පැමිණීම සඳහා අවශ්‍ය විශ්වාසය නිර්මාණය කළෙමි.

ඉන් අනතුරුව මාස කිහිපයක්‌ ඇතුළත රාජපක්‍ෂ පාලනය ගෙදර යෑවීම වෙනුවෙන් රහස්‍ය සාකච්ඡා වට කීපයක්‌ම ඔබත් මමත් මංගල සමරවීර මහතාගේත් සහභාගීත්වයෙන් පැවැත්විණි. ඒ සාකච්ඡා මාලාවේ තීරණාත්මක සාකච්ඡාව 2014 සැප්තැම්බර් 25 වන දින මංගල සමරවීර මහතාගේ බොල්ගොඩ ගඟ අසල පිහිටි නිවසේදී පැවැත්වූ ආකාරයත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පැවැති එම හමුවට සහභාගි වීම සඳහා මම හා ඔබ අප දෙදෙනාගේම නොවන මෝටර් රථයකින් ගමන් කළ බවද මතකයේ ඇතැයි සිතමි.

ජනවාරි 8 වැනිදා සිදුවූ විප්ලවය වෙනුවෙන් අප හා එක්‌වී ඉතාම අවදානම් සහගත මොහොතක සම්බන්ධ වී ඔබ සැළකිය යුතු කාර්යභාරයක්‌ ඉටු කළ බව අවිවාදිතය. ජනාධිපතිවරණයෙන් අනතුරුව නව රජයේ කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස පත්වූ පසු ඔබ විසින් ඔබගේ අමාත්‍යාංශයට අයත් ආයතනයක තනතුරක්‌ භාරගන්නා ලෙස කරන ලද ඉල්ලීම මත කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධුරය මම භාර ගතිමි. එසේම මා සම්බන්ධයෙන් ඔබ තැබු විශ්වාසය ගැන ස්‌තුතිවන්ත වෙමි.

කෙසේ වෙතත් එම තනතුරේ රාජකාරි නිදහසේ ඉටු කිරීමට හැකියාවක්‌ මා හට හිමි වූයේ නැත. අසාධාරණ ආකාරයෙන් ටෙන්ඩර් සඳහා අනුමැතිය ඉල්ලමින් නව ව්‍යාපාර සඳහා සහාය ඉල්ලමින් දිගින් දිගටම බලපෑම් එල්ලවීමට පටන් ගත් අතර වඩාත් හාස්‍යජනක කාරණය වූයේ එසේ බලපෑම් කළ බොහෝ දෙනා ජනවාරි 9 වෙනිදායින් පසුත් රාජපක්‍ෂවරු වන්දනාමාන කළ පිරිසක්‌ වීමය.

එලෙස සිදු වූ බලපෑම් වලට යට නොවී හැකිතාක්‌ නිවැරදිව සෘජුවම කටයුතු කිරීමට මම උත්සාහ කළෙමි. එසේ රාජකාරි කරමින් සිටින අතරතුර කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ආහාර ප්‍රවර්ධන මණ්‌ඩලය සංවිධානය කළ ව්‍යාපෘතියක උදැසන කෑම වේලක වියදම සඳහා රුපියල් පහලොස්‌ ලක්‍ෂ හත්සිය පනහක මුදලක්‌ කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙන් ගෙවන ලෙසට මා වෙත ඉල්ලීමක්‌ ඉදිරිපත් වන ලදී. නිත්‍යානුකූල නොවූ එම ඉල්ලීම අධ්‍යක්‍ෂ මණ්‌ඩලයට යොමු කළ අවස්‌ථාවේ අධ්‍යක්‍ෂවරුන් තිදෙනෙක්‌ එය ප්‍රතික්‍ෂේප කළහ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විගණන කටයුතු සිදුකරන කීර්තිමත් නිලධාරියෙකු වන ලලිත අඹන්වෙල මහතා පවා එම ගෙවීම මූල්‍ය පටිපාටියට පටහැනි බව පෙන්වා දුන්නේය. පසුව ඔබ පෞද්ගලිකවම මැදිහත් වී එම ගෙවීම් කරන ලෙස ඉල්ලීමක්‌ කළ අවස්‌ථාවේත් මා විසින් එය ප්‍රතික්‍ෂේප කළ බව ඔබට මතක ඇතැයි සිතමි.

හිතවත් ඇමැතිතුමනි රාජ්‍ය අංශය යෑපෙන්නේ ඔබේත් මගේත් පෞද්ගලික මුදලින් නොව ජනතාවගේ බදු මුදලිනි. එම බදු මුදල් නිසි ලෙස කළමනාකරණය කිරීම අපට පැවරී ඇති බරපතල වගකීමකි. පසුගිය දෙවසර තුළ ඔබ යහපාලනය සඳහා කෙතරම් සාධාරණයක්‌ ඉටු කළාදැයි ඔබේ හදවතට තට්‌ටු කර බලන්නට මම ආරාධනා කරමි.

කනගාටුවෙන් වුවත් සඳහන් කළ යුතු වන්නේ යහපාලනයට වින කළ දුෂ්ට බලවේග වල ග්‍රහණයට ඔබ මේ වනවිට පත්ව ඇති බවය. ඔබගේ නිවසටම කිහිපවතාවක්‌ම පැමිණ පැහැදිලි ඉදිරි දේශපාලන අනාගතයක්‌ සහිත පුද්ගලයෙකු ලෙස වල්මත් නොවී ඉදිරියට යා යුතු බව කියමින් ඉන් ඔබව මුදවා ගැනීමට මා අවස්‌ථාවන් කිහිපයකදීම උත්සාහ කළද අගාධයෙන් ගොඩ ඒමට කටයුතු කරනවා වෙනුවට ඔබ කළේ තව තවත් අගාධයේ පතුළ දෙසට ගමන් කිරීමය.

එවැනි පසුබිමක්‌ තුළ ඔබේ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක තවදුරටත් තනතුරක්‌ දැරීමේ බලාපොරොත්තුවක්‌ මා හට නැත. ඔබ වටා අද දැවටෙමින් සිටින දුෂ්ට බලවේග අපව මෙම තනතුරින් ඉවත් කිරීමට පසුගිය කාලයේ උපරිමයට උත්සහ කළද එය ඔබේ සීමාවට ඔබ්බෙන් තිබූ කාර්යක්‌ වූයේ මාගේ පත්වීම සිදුකළ බලධාරියා වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා වූ බැවිනි.

කෙසේ වෙතත් සමස්‌ත සේවකයන් සහ ආයතනය අසීරුතාවයට පත්වීම වැලැක්‌වීම සඳහා 2017 සැප්තැම්බර් 25 දින සිට කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ධුරයෙන් ඉවත් වන බව මා මෙයින් දන්වා සිටිමි.

Rate this item
(1 Vote)
Last modified on Friday, 29 September 2017 16:53