April 25, 2024

“වැඩ ප්‍රමාදයි“ ජනපතිගෙන් ඇමැති කිරිඇල්ලට දෝස්මුරයක් - “උපදෙස් දුන්නේ අගමැති“ කිරිඇල්ල කියයි

September 15, 2017

අධිවේගී මාර්ග ඉදිකිරීමේදී විනිවිදභාවයකින් යුතු ජාතික ප‍්‍රතිපත්තියක අවශ්‍යතාවය පිළිබඳ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ඊයේ (14) ජනාධිපති කාර්යාලයේ පැවති මාර්ග සංවර්ධන අධිකාරියේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.

මේවන විට ඉදිකරමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියර සම්බන්ධයෙන් පවතින් ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දිගින් දිගටම මාධ්‍ය මගින් අනාවරණය කර තිබිණි.

දැනට කි‍්‍රයාත්මක අධිවේගි මාර්ගවල ඉදිකිරීම් කටයුතු, මාර්ග අලුත්වැඩියා කටයුතු සහ නව මාර්ග ඉදිකිරීම් මෙන්ම ඒවායේ මූල්‍ය තත්ත්වයන් පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින්ගෙන් කරුණු විමසීය.

මධ්‍යම අධිවේගි මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ සහ කඩවත සිට මීරිගම දක්වා කොටසේ ඉදිකිරීමේ 2019 වසරේ සැප්තැම්බර් මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බව මෙහිදී මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ප‍්‍රකාශ කළ අතර, කඩවත සිට කෙරවළපිටිය දක්වා කොටසේ සියයට 50 ක ඉදිකිරීම් මේ වසරේ අවසන් කිරීමට නියමිත බව ද සඳහන් කළේය.

මධ්‍යම අධිවේගයේ වැඩ ප්‍රමාදය ගැන ජනපතිගෙන් දොස්

රාජ්‍ය මහාමාර්ග අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතාද මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සමාගම පිළිබඳ එල්ලවන චෝදනා පිළිබඳ යළි ප්‍රශ්න කළ අතර ඊට මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් අදහස් දක්වීය.

“අපි ටෙන්ඩර් එක දීලා තියෙන්නේ ටයිසේ එකට. අපි කතාකරලා අහුවා ෆුජීටා එක්ක එකතුවෙලා කටයුතු කරන්න පුළුවන්ද කියලා.“ යැයි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසූ අතර එහිදී රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසූවේ ටෙන්ඩර් කමිටුවෙන් ෆුජීටා සමාගම ඉවත් කළ බවත් එලෙස ඉවත් කළ සමාගමක් සමග වැඩකටයුතු කිරීම සුදුසු නැති බවත්ය.

“ටෙන්ඩර් එක දෙන්නේ ටයිසේ එකට සල්ලි දෙන්නේ ජෙබික් එකෙන්. ජෙබික් එකෙන් ලියුමක් එවලා තිබුණා ෆුජීටා එකත් සම්බන්ධ කරගන්න පුළුවන්ද කියලා. අගමැතිතුමාගේ උපදෙස් අනුව දෙගොල්ලෝ කැඳවලා අහුවා. බලකරන්නේ නෑ. එයාලා සාකච්ඡා කරලා කිව්වා කැමතියි කියලා. “යැයි ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිවරයා පැවසී ය.

මේවන විට ප්‍රශ්නය බිලියන 25ක් අඩු කරගැනීම නොවන බවත් මෙරට විශේෂඥයින් තීන්දු කළ සමාගමක් සමග වැඩ කිරීම පොඩි අසෝභන වැඩක් බවත් රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා එහිදී පෙන්වා දුන්නේය.

“මම ඉල්ලන්නේ විනිවිදභාවය. මම දැක්කේ නෑ එකම තැනකවත් වැඩක් කෙරෙනවා. මැෂින් පාරේ අයිනේ තියෙනවා. ගල් ගොඩවල් ගහලා තියෙනවා. කඩවතින් එහා දිගටම අවහිර වෙලා. ඒ වැඩවල ප්‍රමාදයක් තමා මම දකින්නේ. “ ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මධ්‍යම අධිවේගි මාර්ගයේ සහ දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල සිදුවනවායැයි පැවසෙන අක‍්‍රමිකතා පිළිබඳ මාධ්‍ය මගින් එල්ලවන චෝදනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් නිලධාරින්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා විවෘත මාධ්‍ය සාකච්ඡාවක් මගින් හෝ නිවැරදි තොරතුරු මාධ්‍ය වෙත නිකුත් කරමින් එල්ලවන චෝදනා විනිවිදභාවයෙන් යුතුව නිවැරදි කිරීමට කටයුතු කරන ලෙස මහාමාර්ග අමාත්‍යාංශයේ සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් වෙත උපදෙස් දුන්නේය.

කෙසේ වෙතත් මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩකටයුතු පිළිබඳ සෑහීමට පත් නොවූ බවත් එහි පවතින් අඩුපාඩු පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

මෙවැනි චෝදනා රාශියක් හේතුවෙන් මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඇමැතිධූර‍ය ගැනද ප්‍රශ්නකාරී තත්ත්වයක් උද්ගතව ඇති බව රජයේ ආරංචි මාර්ග පවසයි.

Rate this item
(6 votes)
Last modified on Sunday, 17 September 2017 12:07