March 29, 2024

වසර 66ක ශ්‍රීලනිප ගමන පිළිබද ජනපති අවලෝකනය

September 03, 2017

එක පිලට එක පෙලට මගේ පරම පැතුම එයයි...

ලංකා මාතාවගේ සාඩම්බර දූ පුතුන් වන අප අද එළැඹ සිටින්නේ සදාදරණීය ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ 66 වැනි සංවත්සරයට වුව ද නිසැකයෙන්ම එය අපගේ මාතෘ භූමියට සුවිශිෂ්ට සම්ප්‍රදායන් එක්‌ කළ ඓතිහාසික විජයග්‍රහණයක ආශ්වාදනීය ආවර්ජනයකි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය 1951 සැප්තැම්බර් 02 වැනිදා උපත ලබා හෝරා විසිහතරක්‌ ඉක්‌ම යන්නට පෙර එනම් සැප්තැම්බර් 03 වැනිදා ගොවි පවුලක ගොවි දරුවකු ලෙස උපත ලද මට මේ පක්‌ෂය සමඟ දෛවෝපගත සබඳතාවක්‌ තිබීම මගේ පරම භාග්‍යයක්‌ යෑයි මම අනන්තවාරයක්‌ කල්පනා කර ඇත්තෙමි. අප පක්‌ෂයේ නිර්මාතෘ ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් 1956 දී ලද විජයග්‍රහණය අධිරාජ්‍යවාදය හා ධනපති පන්තිය විසින් නඩත්තු කරන ලද ප්‍රතිගාමීත්වය ලද ෙ€දජනක පරාජයක්‌ ලෙස අර්ථ නිරූපණය කර තිබේ. 2015 ජනවාරි 08 වැනිදා විපක්‌ෂයේ පොදු අපේක්‌ෂකයා ලෙස මා විසින් අපගේ මාතෘභූමියට අත්පත් කර දෙන ලද විජයග්‍රහණය ඓතිහාසික ඇරඹුමක්‌ ලෙස දැනටමත් අර්ථගන්වා තිබීම මගේ අප්‍රමාණ සතුටට හේතු වී තිබේ. නොබෝ දිනකින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ සභාපතීත්වය ද මා වෙත පවරමින් ඒ ඓතිහාසික විජයග්‍රහණයට ආශිර්වාද කිරීමට තරම් කෘතවේදී ගුණයක්‌ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයට තිබීම ගැන මම වඩාත් සතුටු වෙමි. මගේ ප්‍රතිවාදීන් මට අත දී දත නියවීමට තරම් පහත් දුබල මානසිකත්වයකින් යුතු වීම ගැන මම බොහෝ විට කරුණු සඳහන් කර ඇත්තෙමි. ජාතික ආණ්‌ඩු සංකල්පය මත පදනම් වූ සම්මුති ආණ්‌ඩුවක්‌ ගොඩනගාගෙන ජාතික ගැටලු විසඳා ගැනීමට මා ගත් පියවර ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය, එක්‌සත් ජාතික පක්‌ෂයට පාවා දීමක්‌ ලෙස හැඳින්වීම හැර ඊට වඩා ගැඹුරු දේශපාලන විවේචනයක්‌ කිරීමට අපගේ ප්‍රතිවාදීහු අසමත්ව සිටිති. මෛත්‍රී පාලනයක්‌ - ස්‌ථාවර රටක්‌, ලෙස අප අතර වූ එක`ගතාවය නොබිඳ ගෙවී ගිය දෙවසරකට මදක්‌ වැඩි කෙටි කාලපරිච්ඡේදයක්‌ තුළ වුව ද මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්‌තිය, සාධාරණත්වය මෙන්ම නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අපට හැකි වී තිබේ.
ජනතාවට මා විසින් දෙන ලද ප්‍රතිඥාව පරිදිම 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා අනෙක්‌ පක්‌ෂ මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ප්‍රමුඛ සන්ධානයෙන් ලද අනුග්‍රහය අගය කළ යුතුය. විධායක ජනාධිපති ක්‍රමයට නිර්දය විවේචන එල්ල වුව ද අපේ පක්‌ෂයේ මට පෙර සිටි කිසිවකුට ඒ සඳහා අබමල් රේණුවක වෙනසක්‌ සිදුකිරීමට නොහැකි වූ බව ඔබ දන්නෙහි ය. 1978 දී විධායක ජනාධිපති ක්‍රමය ආරම්භ කළ මොහොතේ සිටම බණ්‌ඩාරනායක මැතිනිය ඊට එරෙහිව විරෝධය පළ කළ බව අද බොහෝ දෙනකුට අමතක වී තිබේ. ලෝක ඉතිහාසයේ කිසිදු රාජ්‍ය නායකයකු තමන් සතු බලය අතහැරීමට ක්‍රියාකර නැත. එහෙත් ඒ සඳහා මා විසින් ගන්නා ලද පියවර කෙබඳු දැයි ඔබ දන්නෙහිය. බලයේ එල්ලී සිටීම සඳහා ව්‍යවස්‌ථාව වෙනස්‌ කරගැනීමේ දොළ දුකක්‌ මට නැත. මෙම විධායක ජනාධිපති ක්‍රමය කෙසේ සංශෝධනය විය යුතු ද, නොඑසේ නම් එය අත්හළ යුතු ද යන්න පිළිබඳ අප පක්‌ෂය තීරණය කළ යුතුය. මම ඒ වගකීම පක්‌ෂයට පවරමි. මම කිසිවිටෙක බලය උදෙසා ක්‍රියාකර නැත්තෙමි. මගේ වාසිය උදෙසා නීතිය වෙනස්‌ කර නැත්තෙමි. මම කිසිවිටෙක බලයෙන් නිලයෙන් උදම් නොවෙමි. අප පක්‌ෂයේ නිර්මාතෘ බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් ජනතාවට ප්‍රකාශ කළේ තමන් අවංක මහජන සේවකයකු බවය. එය මුළු හදවතින්ම අනුමත කරමින් මම ද ඔබගේ ජනතා සේවකයකු බව ප්‍රකාශ කරන්නෙමි. ශ්‍රී.ල.නි.ප. ය යනු පරිත්‍යාගශීලීත්වයේ පරමාදර්ශයන් රටට ලබාදුන් පක්‌ෂයකි. සිරිමාවෝ බණ්‌ඩාරනායක අගමැතිනිය තමන්ට උරුමයෙන් ලැබුණු ඉඩම් ජනතාවට දන් දුන් ශ්‍රේෂ්ඨ නායිකාවකි. පක්‌ෂයේ ප්‍රතිපත්තිවලට පටහැනි වූ තම එකම පුතු පක්‌ෂයෙන් නෙරපීමට ඇය තීරණය කළාය. ශ්‍රී.ල.නි.ප. යට පිවිසීමට මා වැනි රජරට ගැමි තරුණයකුට දොර හැර දෙන ලද්දේ මැතිනිය විසිනි. අපේ පක්‌ෂයේ පදනම පොදු ජනතාව විය. සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග නැමති පදනමට අද තවත් ජන බලවේග එක්‌ව සිටියි. රණවිරු, ලිපිකරු වෙනත් වෘත්තීකයන් ද අද අප පක්‌ෂය සමඟ එක්‌ව සිටිති. මම හැමදාමත් පක්‌ෂය වෙනුවෙන් ක්‍රියාකර ඇත්තෙමි. අපේ පක්‌ෂයේ මතගැටුම්, බෙදීම් නිසා ප්‍රතිගාමීත්වය ලද ජයග්‍රහණ සුළුපටු නොවේ. ඒ ප්‍රතිගාමීත්වයෙන් බැට කෑ මට තෙවරක්‌ සිරගෙවල්වල ලැඟීමට ද සිදුවිය. ශ්‍රී.ල.නි.ප ය වෙනුවෙන් සිරගෙදර සීතල පොළොවේ මෙන්ම පක්‌ෂ මූලස්‌ථානයේ මේසයක්‌ මත පත්තර පිටු දෙකක්‌ දමාගෙන නිදා ගත් රාත්‍රී කාලයන් ද මම ආශ්වාදයෙන් සිහිපත් කරමි.

පක්‌ෂය වෙනුවෙන් එබඳු කැපකිරීම් කළ තවත් අය සිටිති. ඒ හැම කෙනකුගේම ප්‍රාර්ථනාව වූයේ තමා නොව පක්‌ෂයයි. ඒ නිසා ශ්‍රී.ල.නි.ප යට අප දුන් දේ මෙන්ම ශ්‍රී.ල.නි.ප යෙන් අපට දුන් දේත් තිබෙන බව ද මේ මොහොතේ සිහිපත් කළ යුතුය. එසේ නම් අප කළ යුත්තේ කුමක්‌ද ? අද ලෝකයේම දේශපාලනය විවිධ විපර්යාසයන්ට භාජනය වී තිබේ. දේශපාලන දිශානතිය වෙනස්‌ වී තිබේ. අද ශ්‍රී.ල.නි.පය පුද්ගල අභිවාදනයෙන් බැහැර වූ සාමූහික සම්මුතියක්‌ බවට පත්ව තිබේ. හැටහය වසරක්‌ යනු සියවස්‌ භාගයකට වැඩිය. අප මේ සියවස, එනම් විසි එක්‌ වැනි සියවසට වුවමනා දේශපාලන දැක්‌මකින් යුතු ගමනක නිරත විය යුතුය. ඒ ගමන දූෂණය, වංචාව, නාස්‌තිය, ජනතා සම්පත් විනාශ කිරීම සඳහා කිසිවකුට බලපත්‍ර නොදෙන සදාචාර සම්පන්න සංවරශීලී දේශපාලන චාරිකාවක්‌ විය යුතු බව මම තරයේ අදහමි. මගේ මතකයට නැෙ`ගන්නේ එදා අප පක්‌ෂයේ නිර්මාතෘ බණ්‌ඩාරනායක මැතිඳුන් දේශපාලනය කිරීම සඳහා එතුමා සතුව තිබූ රොස්‌මිඩ් පෙදෙසේ නිවස උකස්‌කර මුදල් ලබාගත් ආකාරයයි. එතුමා කුරිරු ලෙස ඝාතනයට ලක්‌වූ පසු එම උකස බේරාගැනීමට බණ්‌ඩාරනායක මැතිනියට නොහැකි විය. එම අවස්‌ථාවේදී සර් ජෝන් කොතලාවල මහතා රොස්‌මිඩ් පෙදෙසේ නිවස උකසින් බේරාදීම සඳහා මැදිහත්ව ක්‍රියාකළ ආකාරය ද අපේ පක්‌ෂ ඉතිහාසයේ සඳහන් වී තිබේ. ඒ එදා දේශපාලනය කළ ආකාරයයි. එහෙත් අද තත්ත්වය කුමක්‌ද, කෙසේ වුව ද එබඳු පරමාදර්ශයන් ලබාදෙමින් ඉතිහාසය මුළුල්ලේ ගමන් කළ අපේ පක්‌ෂයට අද අලුත් දේශපාලන සංස්‌කෘතියක්‌ ලබාදීමට අප ක්‍රියාකළ යුතු වෙමු. එසේම අපගේ ගමනේදී වර්ගවාදය, ගෝත්‍රවාදය, අන්තවාදය, ආගම්වාදය වැනි තිරශ්චීන අවි මෙන්ම මූලධර්මවාදී සටන් පාඨ ද ප්‍රතික්‌ෂේප කළ යුතු බැව් මම ඉඳුරා පවසමි. දේශපාලනය යනු බලය කේන්ද්‍ර කරගත් ව්‍යාපාරයක්‌ වුව ද එහිදී අප ක්‍රියාකළ යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදය, යුක්‌තිය හා සාධාරණත්වය, මානව හිතවාදය, සමානාත්මතාව මත පදනම්ව බව මම කල්පනා කරමි. 2015 ජනවාරි 08 වැනිදා මා ජනාධිපති ධුරයට පත්වූ මොහොතේ ජගත් ප්‍රජාව විසින් අපගේ මාතෘ භූමිය දෙස බැලූ ආකාරය මා විග්‍රහ කළ යුතු නොවේ. අපට ජාත්‍යන්තර තලයේ මිතුරෝ නොවූහ. අපේ අසල්වැසි ඉන්දියාව පවා සිටියේ අපට අහක බලන තත්ත්වයකය. බටහිර නායකයන්ට අවශ්‍ය වූයේ අප ලෝකයේ කොන් වී ගිය රාජ්‍යයක්‌ බවට පත්කිරීමය. අප අසුබවාදී මනසකින් යුතු සු`එ ජාතිකයන් පෙළන, ඔවුන්ගේ සාධාරණ හා යුක්‌ති සහගත අයිතිය පමණක්‌ නොව, අහිංසක ජීවිත වලට පවා පීඩා කරන µeසිස්‌ට්‌වාදී නරුමයන් ලෙස ඔවුහු අප දෙස බැලූහ. ඒ අප කළ වරදකට නොව අපේ පුරෝගාමීන් විසින් අනුගමනය කරන ලද විනාශකාරී ප්‍රතිපත්ති නිසාය. ඔවුන්ගේ මුග්ධ ප්‍රතිචාර නිසාය. ජාත්‍යන්තරය විසින් අපට විරුද්ධව ඉදිරිපත් කරන ලද ජගත් අධි චෝදනා පත්‍රයට මුහුණ දී ඉන් මේ බිම නිදහස්‌ කර ගැනීමට මම සමත්වීමි.
බටහිර නායකයින්ගේ මිත්‍රත්වයේ දෑත් අප වෙත දිගු විය. අපට වැසූ දොරවල් එකින් එක හැරෙන්නට ද විය. කිසි දිනෙක අප නොකැඳ වූ ලෝක බලවතුන්ගේ සත් සාමාජික සමුළුවට ද අපට ඇරයුම් ලැබුණි. ලෝකයේ ප්‍රබල රටවල් ගණනාවකින් මට නිල ඇරයුම් ලැබුණි. එමෙන්ම තවමත් ලැබෙමින් පවතී. ඔවුන්ගේ සුහදභාවයේ උණුසුම මගේ හදවතට ද දැනුණි. පෙරදිග මුතු ඇටය අමුතු මුතුවක්‌ සේ දුටුවෝ යළි අප සමඟ නෑකම් සම්බන්ධකම් අලුත් කර ගත්හ. රට වෙනුවෙන් මා ලද මේ සියලූ ජයග්‍රහණයන් සඳහා දොර හැර දුන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය බව මම නිහතමානීව කියමි. 2014 නොවැම්බර් මාසයේදී පොදු අපේක්‌ෂකයා ලෙස මා තෝරාගැනීමට එජාපය ප්‍රමුඛ දේශපාලන පක්‌ෂ හා සංවිධාන 49 ක්‌ ක්‍රියා කළේ ශ්‍රීලනිප ය තුළ අවුරුදු 48 ක්‌ මගේ දේශපාලන භූමිකාව හා රට වෙනුවෙන් මා ඉටුකළ ජන මෙහෙවර ද අවධානයට ගනිමින් බව මම විශ්වාස කරමි. මා ලද යම් කීර්තියක්‌ ගෞරවයක්‌ වී නම් ඒ මා වෙනුවෙන් පෙනී සිටි හා පෙනී නොසිටි හැම දෙනා අතරේත් සම සේ බෙදා දීමට මට ඉඩ දුන මැනවි. මගේ ජයග්‍රහණයේදී මා සමඟ සිටි අය මෙන්ම මට අශෝභන අවමන් ගැරහුම් කරමින් මා හැර ගිය අය ද සිටිති. එහෙත් එබඳු බෙදීම් වෙන් කිරීම වර්ග කිරීම් සඳහා මම කිසිවිටෙක උනන්දු නොවෙමි. මම යුග මෙහෙවරක්‌ ඉටු කිරීමේ ඓතිහාසික වගකීම හිsමි වූ භාර කරුවෙක්‌මි. ඒ මහගු ජාතික කාර්යභාරය මට හිමි වීම ඇතමුන්ගේ නොසතුට හේතු වී ඇති බව ද මම දනිමි. ඔවුහු මට අවමන් කරති. ගරහති. පරිභව කරති. ඒත් ඒ කිසිවකින් මම පසුනොබසිමි. නොසෙල්වෙමි. නොනවතිමි. බණ්‌ඩාරනායක ශ්‍රීමතාණන් 56 දී අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ දා සිට එතුමා ඝාතනය කළ දිනය දක්‌වා නින්දා, අපහාස කරමින් එතුමාට දුන් මානසික පීඩාව මෙහිදී මට සිහිපත් වේ. ඒ අත්දැකීමට මම ද නොඅඩුව මුහුණ දී සිටිමි. බලකාමීන්, අවස්‌ථාවාදීන්, අන්තවාදීන්, දූෂිතයන්, හොරුන් සහ තක්‌කඩින් විසින් මාගේ දේශයට මාගේ පක්‌ෂයට කරන ලද විනාශය මම හොඳින් දනිමි. ඡේත්තුවට හැඳගත් ශාන්තුවරයන් සේ සිටිය ද ඔවුන්ගේ නිරුවත ද ඔවුන්ගේ සටකපට දේශ ප්‍රේමය ද කාලය විසින් අනාවරණය කරනු ඇත. මට ඒ සඳහා බලපෑම් කිරීමට හෝ මැදහත් වීම් සඳහා තිබෙන සෑම යුක්‌ති සහගත හා නීතිමය අවකාශයක්‌ම මම උපරිම ලෙසින් භාවිතා කරන්නෙමි. දූෂණ, වැරදි, අක්‍රමිකතා අසාධාරණ යටහත් කිරීම් මගේ පිළිවෙත නොවන බව ඔබට තේරුම් ගොස්‌ තිබිය යුතුය.

මහ බැංකු මංකොල්ලය ලෙස හැඳින්වෙන දූෂණ ක්‍රියාදාමය විමර්ශනය කිරීම සඳහා ජනාධිපති කොමිසමක්‌ පත් කරන ලද්දේ මා විසිsනි. එය හොරුන් සුරකින උප්පරවැට්‌ටියක්‌ යෑයි කී අය අද මගේ එම ක්‍රියාව ඔවුන්ගේ ගිණුම්වලට එකතු කර ගනිති. ඒ අප මැදි වී සිටින හෘද සාක්‌ෂියක්‌ නැති දේශපාලනයේ යථා ස්‌වරූපයයි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පමණක්‌ නොව අප වසන සමාජය කුණපයක්‌ වැන්න. සමාජ දේහයම නොයෙක්‌ දූෂිත පිළිකාවලින් දිරා යමින් ද මරණය කරා ඇදෙමින් ද තිබේ. මම රෝගී සමාජයක්‌ නිරෝගී කිරීමේ දේශපාලන ජීවකයෙක්‌ වීමට වඩාත් කැමැත්තෙමි. එහෙත් ඒ රෝග නිධානය ඉවත් කිරීමේ සැත්කම කිරීමට ජනතා සැත්කම්ගාරය තවම සූදානම් නැත. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයෙන් එය ආරම්භ කළ හැකි නම්, එයට ඔබ සහාය දෙන්නෙහි නම් එය කිසිසේත් දුෂ්කර නොවේ. අපි පළමුවෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය හදමු. නොකිලිටි පක්‌ෂයක්‌, නොකිලිටි දේශපාලන ධාරාවක්‌ අද රටට උවමනාය. ජනාධිපතිවරයා ලෙස මා උතුරේත් නැගෙනහිරත් කිහිප වරක්‌ සංචාරය කර ඇත්තෙමි. යුධ පීඩනයෙන් විඩාපත් වූ ඔවුන්ගේ වේදනාබර මුහුණ ද, අපේක්‌ෂා භංගත්වයේ දෑස්‌ ද මම දිටිමි. ඒ මුවගට සිනහවක්‌, ඒ දෑසට සතුටු කඳුලක්‌ දෙන්නට මට නොහැකි නම් මේ දේශපාලනයේ අර්ථය කුමක්‌ ද? නියඟයෙන් පාළු වී, හැලි වළන් පැලී ගිය වෙල් යායවල් සේ වියළි ගිය දුක්‌ බර මුහුණින් මා යන මග දෙපස ගොවි පවුල් අප්‍රමාණව බලා සිටියහ. මට ඒ මුඩුබිම්වලට ඉහළින් වැසි දියක්‌ සේ පතිතවන්නට බැරි බව සැබෑය. එහෙත් ඒ දුකට පිහිටක්‌ වන්නට නොහැකි නම් කුමටද මා දරන නිල බල යෑයි මට අනන්තවත් සිතුණි. මගේ ළමා විය ද යොවුන් විය ද ගම් බිමි වල ගොවි බිම් වල වැව් තාවුල් වල වන වදුලු වල ගෙවී ගියේ දුක සතුට සිනහව කඳුළ සමඟය. මගේ දෙසවන්වල පිරී ඇත්තේ ඔවුන්ගේ සුසුම් කෙඳිරිලි හා වේදනා බර අත්දැකීම්ය. මේ මහ පොළොවේ එක්‌ කෙළවරක සුරපුරයකි. අනෙක්‌ කෙලවර දුක්‌ නිරයකි. මට උවමනා එය වෙනස්‌ කිරීමටය. පරම්පරා දෙකකට සෙවණ දුන් ඉඩමේ, නිවහනේ, උරුමය අබිමුව අපේ නෑයෝ සුසුම් හෙළති. අව්වට වැස්‌සට හුරු වුණු ඒ මිනිසුන් අසරණයන් ලෙස මිය යද්දී දේශපාලනඥයෝ අනුහසින් මන්දිර හදා ගත් අය කොපමණ සිටිත්ද? පසුගිය දිනවල ඒ ගැමියන්ට ඉඩම් අයිතිය ඔප්පුවකින් ලබා දුන් මොහොත මට කිසි දිනෙක අමතක නොවේ. අද රට ඉල්ලා සිටින සියල්ල අපට දීමට බැරි විය හැකිය. එහෙත් අපට හැකි පමණින් ශක්‌ති පමණින් ඔවුන්ගේ ජීවිත අපේක්‌ෂාවන් දැල්වීමට ක්‍රියා කළ යුතුය.

සැමට දිරි දීමට, කෙත නැංවීමට කළ හැකි කළ යුතු බොහෝ දේවල් සඳහා මම කැප වන්නෙමි. සම්මුති ආණ්‌ඩුවට මා ඉදිරිපත් කළ ජාතික ආර්ථික සභාව ඔස්‌සේ අභිනව කෘෂිකර්ම ප්‍රබෝධයක්‌ මෙන්ම දේශීය කර්මාන්තවල නවෝදයක්‌ ඇති කිරීම මගේ අරමුණ වී තිබේ. මම අවසාන වශයෙන් එක්‌ දෙයක්‌ කියන්නෙමි. අලුත් පක්‌ෂ සෑදීමට මම බාධා නොකරමි. ඒ අයිතිය ඕනෑම කෙනකුට තිබේ. එහෙත් පක්‌ෂය බෙදීම ජාතික අපරාධයක්‌ බව මම භේද කරුවන්ට කියමි. මේ පක්‌ෂය කැඩී ගිය හැම විටකම අපට අත් වූයේ නියත පරාජයක්‌ බව ද මම ඔවුනට සිහිපත් කරමි. මම පක්‌ෂයට ප්‍රජාතන්ත්‍රවාදය රැගෙන ආවෙමි. පක්‌ෂය ඇතුළේ අපට වාද කළ හැකිය. ඒ සඳහා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ දේශපාලන පාසලක්‌ ද ගොඩනඟා තිබේ. අද උවමනා පිල්වලට බෙදීම නොව එක පිළක, එක පෙළට සිටීම බව ද මම සඳහන් කරමි. ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය පිරිසිදු කර යහපත් දේශපාලන සංස්‌කෘතියක්‌ ගොඩනැඟීමේ අධිෂ්ඨානය මේ ඓතිහාසික මොහොතේ සියලු දෙනා හට පහළවේවා යි මම ප්‍රාර්ථනා කරමි.

ඇස ඇස රැඳුණු කඳුළැලි පිසලනු බැරිනම්
කුස කුස නැගුණු කුසගිනි දුරලනු බැරිනම්
දෙස බස රැසට එන දුක්‌ වළකනු බැරිනම්
උසුලනු කුමට නිල බල හා අධිපතිකම්

මෛත්‍රිපාල සිරිසේන
ශ්‍රී ලංකා ජනාධිපති

Rate this item
(0 votes)